Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව history_inner දකුණු අපි‍්‍රකානු නායකත්වයේ කිරුළ අම්ලාගේ හිස මතට

දකුණු අපි‍්‍රකානු නායකත්වයේ කිරුළ අම්ලාගේ හිස මතට

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 04 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

දකුණු අපි‍්‍රකානු ටෙස්ට් පිලේ නායකයා වශයෙන් හසිම් අම්ලා පත්කර තිබේ. මේ වන විට 31 හැවිරිදි වියේ සිටින අම්ලා, කණ්ඩායමේ නායකයා වශයෙන් මුහුණදෙන පළමු පැවරුම වන්නේ ශී‍්‍ර ලංකා පිලට එරෙහිව ශී‍්‍ර ලංකාවේදී පැවැත්වෙන තරගාවලියේදී දකණු අපි‍්‍රකානු කණ්ඩායම මෙහෙයවීමයි.

දකුණු අපි‍්‍රකානු පිල අවසන් වරට ශී‍්‍ර ලංකාවේ සංචාරය කළ 2006 වසරේදී ටෙස්ට් තරග දෙකම පරාජය වූ අතර එතැන් සිට මේ දක්වා දකුණු අපි‍්‍රකාවෙන් පිටතදී පැවැති ටෙස්ට් තරගාවලියකදී පරාජය වී නැත. එහෙත් 2006 තරගාවලිය සඳහා ගේ‍්‍රඒම් ස්මිත් සහභාගි නොවූ අතර ඔහු ඒ වන විට කිසියම් ආබාධයකට මුහුණ දී සිටියේය.

ඉස්ලාම් ධර්මයට ඉතා ලැදි, පාකිස්තානු ජාතිකයකු සිහිගන්වන හසිම් අම්ලා, අඩුවෙන් කතාබහ කරන්නකු වන නමුත් ස්මිත්ගෙන් බාරගන්නා වගකීම දරාගෙන සිටීම ඉතාමත් අභියෝගාත්මක වනු ඇත. මක්නිසාද යත් ලාබාළ වයසකදී දකුණු අපි‍්‍රකානු පිලේ නායකත්වයට පත්වූ ගේ‍්‍රඒම් ස්මිත් දකුණු අපි‍්‍රකානු කි‍්‍රකට් කී‍්‍රඩාව වෙනුවෙන් කළ දේ දකුණු අපි‍්‍රකානුවන් හසිම් අම්ලාගෙන්ද එලෙසින්ම බලාපොරොත්තු වන බැවිනි.

ටෙස්ට් තරග 109 කදී දකුණු අපි‍්‍රකානු පිල මෙහෙයවූ ස්මිත් එය ලෝක වාර්තාවක් බවට පත්කළා පමණක් නොව, ඉකුත් මාර්තු මාසයේදී තමන් ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව ප‍්‍රකාශ කළ අවස්ථාව වන විට දකුණු අපි‍්‍රකානු කණ්ඩායම ලෝකයේ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අතරේ අංක 1 ස්ථානය දක්වා ගෙනැවිත් එහි දීර්ඝ කාලයක් රඳවාගෙන සිටියේය.

2014 වාර්ෂික යාවත්කාලීන කිරීමේදී දකුණු අපි‍්‍රකානු ටෙස්ට් පිලට ශ්‍රේණිගත අංක 1 ස්ථානය අහිමි වූ අතර ස්මිත් මෙන්ම ඉතා දීර්ඝ කාලයක් දකුණු අපි‍්‍රකානු ටෙස්ට් පිල වෙනුවෙන් විශිෂ්ට සේවයක් කළ ජැක් කලිස්ද ටෙස්ට් කි‍්‍රකට් පිටියෙන් සමුගෙන සිටින බැවින් නැවතත් අංක 1 ස්ථානය ලබාගැනීම එතරම් පහසු කටයුත්තක්ද නොවනු ඇත.

ඩර්බන් උසස් පාසල වෙනුවෙන් කී‍්‍රඩා කළ සමයේ සිටම කි‍්‍රකට් කී‍්‍රඩාවේ විශිෂ්ට දක්‍ෂතා දැක්වූ අම්ලා, තම පාසලේම ආදි සිසුන් වූ ටෙ‍්‍රවර් ගොඩාර්ඞ් සහ බැරී රිචඞ්ස්ගේ අඩි පාරේ ගිය අයෙකි. වසර 2000 දී දකුණු අපි‍්‍රකානු පාසල් කණ්ඩායම වෙනුවෙන් කී‍්‍රඩා කළ අම්ලා, එම වසර අවසානයේදී දකුණු අපි‍්‍රකානු 19 න් පහළ කණ්ඩායම සමග නවසීලන්තයේ සංචාරය කරන විට යන්තම් වයස 17 ක් වූවා පමණි. එම තරගාවලියේදී දකුණු අපි‍්‍රකානු පිලේ ‘පැංචා’ වූ නමුත් අම්ලා තරගාවලිය අවසන් කළේ දකුණු අපි‍්‍රකානු යොවුන් පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර ඉදිරියෙන්ම සිටිමිනි.

එයින් වසරකට පසුව දකුණු අපි‍්‍රකානු යොවුන් පිලේ නායකයා ලෙසින් 19 න් පහළ ලෝක ක-ුසලාන තරගාවලියේ අවසන් මහ තරගය දක්වා තම පිල කැන්දාගෙන යාමට අම්ලා සමත් වූ නමුත් අවසන් තරගයේදී  ඕස්ටේ‍්‍රලියානු තරුණයන් හමුවේ පරාජය පිළිගැනීමට ඔහුට සිදුවිය.

වයස 21 දී දකුණු අපි‍්‍රකානු ටෙස්ට් පිලට එක්වූ අම්ලා එංගලන්ත වේග පන්දු යවන්නන් හමුවේ තරමක් අසාර්ථක වූයෙන් කණ්ඩායමේ ස්ථානය අහිමි කරගත්තේය. පන්දුවට පහර දීමේදී පිත්ත තරමක් වැඩියෙන් පසුපසට ගන්නා අම්ලාගේ මෙම පුරුද්ද නිසා වඩාත් වේගවත් පන්දු යවන්නන් හමුවේ අසරණ වන බවටද ඇතැම්හු මත පළ කළහ.

ඩර්බන්හි ‘ක්වා-සුලූ-නටාල්’ කණ්ඩායමේ නායකත්වය හැරදමා තමන්ගේ පිතිහරඹය කෙරේ වැඩි අවධානය යොමුකළ අම්ලා 2006 දී නැවතත් ටෙස්ට් පිලට එක්වෙමින් නවසීලන්ත පිලට එරෙහිව කේප් ටවුන් නුවරදී ලකුණු 149 ක් ලබාගත්තේ සිය පිතිහරඹ තාක්‍ෂණයේ සුළු වෙනසක් කරමිනි.

එතැන් සිට දකුණු අපි‍්‍රකානු කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයකු වූ හෙතෙම, ටෙස්ට් ලකුණු 6214 ක් ලබා ඇත්තේ ඉනිමකදී ලකුණු 51.35 ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි. ඒ අතරට ටෙස්ට් ශතක 21 ක් ඇතුළත් වන අතර ඔහුගේ හොඳම ටෙස්ට් ඉනිම 2012 දී එංගලන්තයට එරෙහිව  ඕවල් පිටියේදී ලබාගත් ලකුණු 311 වන අතර ඉන්දීය පිලට එරෙහිව නාග්පූර්හිදී නොදැවී ලකුණු 253 ක් ද ලබාගැනීමට සමත් විය.

දකුණු අපි‍්‍රකානු එක්දින පිලේ නායකයා වන ඒ. බී. ඩිවිලියර්ස් තුවාල ලද අවස්ථාවලදී නොපැකිළවම කණ්ඩායමේ නායකත්වය බාරගත් නමුත් අම්ලා නායකත්වයේ එල්ලී සිටීමට අකමැති විය. නායකත්වය ඒබීට (ඩිවිලියර්ස්) බාරදී තමන්ගේ පිතිහරඹය ගැන උනන්දු වීමට තමන් වඩාත් කැමති යයි කී අම්ලා මෙවර ටෙස්ට් පිලේ නායකත්වයට පත්වූයේද ඒ. බී. ඩිවිලියර්ස් පිළිබඳවත් දකුණු අපි‍්‍රකානු තේරීම් නිලධාරීන් වැඩි සැලකිල්ලක් යොමුකර තිබූ අවස්ථාවකදීය.

ටෙස්ට් පිලේ උපනායකයා වන්නේ දකුණු අපි‍්‍රකානු එක්දින කණ්ඩායමේ නායකයා වන ඩිවිලියර්ස්ය.

ඉන්දීය සම්භවයක් සහිත මුසල්මානුවකු වන හසිම් අම්ලා, වර්ණ භේදවාදය තදින් පැවතුණු, ජන වර්ග සම්බන්ධයෙන් අදටත් විවිධ මතිමතාන්තර දරන දකුණු අපි‍්‍රකාවේ කි‍්‍රකට් නායකත්වයට පත්වූ පළමු සුදු ජාතික නොවන කී‍්‍රඩකයා ලෙසින්ද ඉතිහාසයට එක්වෙයි. කි‍්‍රකට් කී‍්‍රඩාව වර්ගවාදයේ පටු සීමාවන් බිඳ දමමින් ඉදිරියට ගමන් කරන බවට අම්ලාගේ පත්වීම හොඳ ඉගියකි.


අදහස් (2)

දකුණු අපි‍්‍රකානු නායකත්වයේ කිරුළ අම්ලාගේ හිස මතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.