Last Update  :  2024-09-19 19:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව IND in SL 2024 ඉස්තාලය වසා දමා අශ්වයා අල්ලා ගනිමු
විස්සයි-20 තරගාවලිය

ඉස්තාලය වසා දමා අශ්වයා අල්ලා ගනිමු

දමින්ද විජේසූරිය - 2024 ජුලි මස 29 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 සහ එක්දින තරගාවලියට පෙර රාජස්තාන් රෝයල්ස් ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරුවා වන සුබින් බරූචා ගෙන්වාගත් සනත් ජයසූරිය උසස් දස්කම් මධ්‍යස්ථානයේදී පිතිකරුවන්ට සුවිශේෂී පුහුණුවක් දුන්නේය. එය මෙතෙක් ශ්‍රී ලංකාවේ නොතිබූ ක්‍රමවේදයක් යයි ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතාම කීවේය. 

ශෛලමය පුවරුවක් මත පතිත වන පන්දුව හමුවේ ක්‍රීඩා කිරීමට සලස්වා පිතිකරුවන්ගේ පිතිහරඹයේ වේගය (පිත්ත පන්දුව වෙත ගෙන එන වේගය) වැඩිකර ගැනීමෙන් විසඳුමක් සොයා ගැනීමට උත්සාහ කළේය. 

එහෙත් එය ප්‍රතිඵල රහිත විය..

 පළමු විස්සයි-20 තරගයේදී ලකුණු 30 කට කඩුලු 9 ක් අහිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම යන්තම් පැය 24 ක් ගතවෙද්දී තවත් කඩුලු 7 ක් ලකුණු 31 කට අහිමි කරගත්තේය. 

සෙනසුරාදා පැවැති පළමු තරගයේදී කඩුලු 2 කට ලකුණු 140 ක් ලබා සිටියත් එතැන් සිට පන්ද 31 ක් ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 170 කට දැවී ගියේය. ඉරිදා පැවැති තරගයේදී කඩුලු 2 කට ලකුණු 130 ක් ලබා සිටි ශ්‍රී ලාංකිකයෝ, 20 වැනි ඕවරය නිමාවන විට ලකුණු 161 කට කඩුලු 9 ක් අහිමි කරගෙන තිබිණ. 

ප්‍රශ්නය ඇත්තේ මැද පෙළ පිතිකරුවන්ගේ මිස වෙන තැනක නොවේ. 

මැද පෙළ කඩා වැටීම ගැන පිතිහරඹ පුහුණුකරු තිළිණ තණ්ඩම්බි කියන්නේ මෙවන් කතාවකි. 

“මමත් මැද පෙළ තමයි ක්‍රීඩා කළේ. ඔය එක එක ස්ථාන වල තියෙන පීඩනය මොකක් ද කියලා මාත් හොඳින් දන්නවා. මටත් ඕනෑ කළේ පිතිකරු ලයිස්තුවේ ඉහළ තැනක් හොයාගන්න තමයි. ඒත් මට ඒ තැන හොයාගන්න බැරිවුණා”

“පිතිකරු ලයිස්තුවේ පහළින් ක්‍රීඩා කරන්න ඕනා පළපුරුදු පිතිකරුවන් කියන එක මමත් පිළිගන්නවා. ඒත් ඒ එක්කම ඔවුන් අසාර්ථක වුණත්, ටික දවසක් ඒ තැන්වල ක්‍රීඩා කරන්න සහතිකයක් ඔවුන්ට දෙන්න ඕනා. අපි අතීතයේදීත් ඒ වගේ සහතිකයක් ඔවුන්ට දුන්නා” 

“වඩාත් පළපුරුදු ක්‍රීඩකයන් මැද පෙළ ක්‍රීඩා කරවන්න අපි සැලසුමක් හදන්න ඕනේ. කාටවත් බලකරන්න බෑ. ඒත් ඒකට උත්සාහ කරන්න ඕනේ” යයි තිළිණ කණ්ඩම්බි මහතා තරගාවලිය පරාජය වීමෙන් පසුව කීවේය. 

එල්.පී.එල්. තරගාවලිය, විස්සයි-20 අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාව සඳහා හොඳම විසඳුම යයි නායක චරිත් අසලංක කීවත් මෙවර එල්.පී.එල්. තරගාවලියේ සාර්ථක පිතිකරුවන් ලෙසින් සංචිතයට ඇතුළත් වූ අවිශ්ක ප්‍රනාන්දු (ලකුණු 374), දිනේෂ් චන්දිමාල් (287) සහ තුන් ඉරියව් ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහ (ලකුණු 186 සහ කඩුලු 7) තිදෙනාගෙන් කිසිවකුට පළමු තරග දෙකේදීම 11 දෙනා අතරට එක්වීමේ අවස්ථාව නොලැබිණ. 

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයකු යයි කිවහැකි දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමට එක් නොවීමේ හේතුව ඉන්දිය පිලේ වමත් පිතිකරුවන් වැඩිවීම නම්, දැනට කිව හැක්කේ එය යල්පැනගිය මතයක් බවයි. එය සාධාරණ තර්කයක් වූයේ නම් දුනිත් වෙල්ලාලගේ සංචිතයට එක් කිරීමේ තේරුමක් ද නැත. 

දසුන් ශානක මේ වසර පුරාම විස්සයි-20 අන්තර්ජාතික තරග 14 කට ක්‍රීඩා කර ඇතත් එම තරග 14 දීම ඔහුගේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ ජනවාරි 14 වැනිදා සිම්බාබ්වේ පිලට එරෙහිව කොළඹදී ලබාගත් ලකුණු 26 යි. එහෙත් එතැන් සිට පිතිහරඹයට වන් ඉනිම 10 කදී දසුන් ශානකගේ ලකුණු ලබාගැනීම් සටහන් වන්නේ පහත පරිද්දෙනි

මෙම තරග 14 දීම ඕවර 20 ක් පමණක් යවා ඇති දසුන් ශානක 2024 මාස හතක කාලයක් පුරා දවාගෙන ඇත්තේ කඩුලු 8 කි. 

තුන් ඉරියව් ක්‍රීඩකයකු යනු කවරෙක්ද ?

ඕනම අවස්ථාවක ඕවර 4 ම යවා කඩුලු දෙක තුනක් දවාගැනීමටත් කණ්ඩායමේ ඉදිරි පෙළ අසාර්ථක වූ අවස්ථාවකදී ලකුණු 60 ක් 70 ක් ලබාගැනීමටත් නොහැකි නම් ඔහු තුන් ඉරියව් ක්‍රීඩකකු නොවේ. හුදු පන්දම්කාරයෙක් පමණි. 

ඉන්දියාවට එරෙහි තරගාවලියේදී පිතිකරුවකු පමණක් ලෙසින් කණ්ඩායමට එක්වූ දසුන් ශානක ඉනිම දෙකේදීම ලබාගත් ලකුණක් නැත. එවන් ක්‍රීඩකයකු තවදුරටත් කණ්ඩායමේ රඳවාගැනීම කාගේ උවමනාවට සිදුවන්නේ ද යන්න තොරතුරු දැනගැනීමේ පනතින් හෝ විමසා බැලීමට කිසිවකු ඉදරිපත් වන්නේ නම් මැනවි. 

අනෙක් අතට, පළමු තරග දෙකේදී ක්‍රීඩා කළ නොහැකි වූ, එල්.පී.එල්. තරගාවලියේ සාර්ථකම ක්‍රීඩකයන් තිදෙනා ඉතිරි එකම තරගයේදී කුමක් කළත්, එයින් ඇතිවන ප්‍රයෝජනයක් ද නැත. දැන් විස්සයි-20 තරගාවලිය පරාජය වී අවසානය. අශ්වයා පැන ගොසිනි. ඉතිරිව ඇත්තේ ඉස්තාලය වසා දැමීම පමණි. 

එහෙත් අශ්වයා අල්ලාගත යුතුව තිබේ. 

තවත් අමතක නොකළ යුතු කාරණාවක් ද ඇත. 

ශ්‍රී ලංකා කණ්ඩායම මේ ක්‍රීඩා කරන්නේ විස්සයි-20 ලෝක ශූරයන් මෙන්ම අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුවත් ලෝකයේ අංක 1 කණ්ඩායමට එරෙහිවය. ශ්‍රී ලංකාව ශ්‍රේණිගත ලයිස්තුවේ 8 වැනි ස්ථානයට වැටී සිටී. ඇත්ත ඇති හැටියෙන්ම කියන්නේ නම්, මේ ගලිවරයන් සහ ලිලිපුට්ලා අතර තරගයකි. ඒත් ඔවුන්ගෙන් ඉගෙන ගත යුතු දෙයක් ඇත. 

ඒ පිතිහරඹයයි. එය වෙනමම කතා කළයුතු මාතෘකාවකි. 

ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් අසරණ ලෙසින් පළමු තරග දෙකම පරාජය වූ නමුත් හෙට තරගය සඳහාත් ප්‍රවේශපත් අළෙවි වෙමින් පවතී. ප්‍රවේශපත් ලබාගත නොහැකි වූ අයෙක්, පළමු තරග දෙකම නැරඹීය නොහැකිවූ නිසා හෙට තරගය වෙනුවෙන් රුපියල් 5000 ප්‍රවේශපත් 4 ක්ම මිලදී ගත්තේ ඔවුන් තවමත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවටත් ආදරය කරන බැවිනි. 

තරගාවලියේ අවසන් විස්සයි-20 තරගය හෙට (30 වැනිදා) පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙයි. තරගාවලිය ජයගෙන සිටින බැවින් ඉන්දියානුවන් මෙම තරගයේදී සිය මැද පෙළ පිතිකරුවන් ඉහලින් එවීමට උත්සුක වුවහොත් එය පුදුමයක් නොවේ. එබැවින් හෙට තරගය හෝ ජයගත හැකි වෙතොත්, ශ්‍රී ලංකා කණ්ඩායමට කිසියම් සුබවාදී ආකල්පයකින් ඉදිරියේ එන එක්දින තරගාවලියට මුහුණ දිය හැකිවනු ඇත.


ඡායාරූපය - ජයමාල් චන්ද්‍රසිරි

 


අදහස් (1)

ඉස්තාලය වසා දමා අශ්වයා අල්ලා ගනිමු
  • මංජුල Tuesday, 30 July 2024 10:21 AM

    අපි කියන්න ඕන දේවල් කණ්ඩම්බි අපිට කියනවා. තේරීම්භාර නිලධාරීන් විදිහට එයාලා නිවැරැදි අවබෝධයෙන් තීරණ ගන්න ඕනෑ. එක එක ක්‍රීඩකයින්ගේ අවශ්‍යතාවයන්ට ඉඩදෙන්න මේක මේ සිඟිති ක්‍රීඩා සමාජයක්ද? තීක්ෂණට රමේෂ්ව හරි වෙල්ලාලගේ හරි අරන්... අසිත - දිල්ෂාන් වෙනුවට වික්‍රමසිංහ දාන්න පුළුවන්. මොකද බැටින්, ෆීල්ඩින් සහ බෝලින් 3 හොඳම තත්වේ තියෙන නිසා. පරදින එකේ ඒ වගේ දෙයක් අත්හදා බලලා පැරදුණත් දුකක් නැ. අර මෙන්ඩිස් කීවේ මේක අපේ නොලැබීම දිනුම වගේම පරාජයත් අපි බලාපොරොත්තු වෙන්න ඕනෑ කියලා. ඒක එයා එතැන ඉඳන් අපට කියන්න එයා එතැන ඉන්න ඕනද? ඉන්න සුදුසුද? ස්පිනර්ස්ලාගේ විකට් 1ක ලෝක ශ්‍රේණිගත කිරීම්වල 1 වැනිය වනිඳු බෝල් කරන විදිහ... අත්දැකීම් නැති අය නම් කමක් නෑ. මේවා හරියට රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීම් වගේ...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.