Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව IND in SL 2024 වනිඳු කරාබු ගලවයි
වි-20 තරගාවලිය

වනිඳු කරාබු ගලවයි

editorial - 2024 ජුලි මස 26 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A

(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට)

ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ හිටපු නායක වනිඳු හසරංග පැළඳ සිටි කරාබු ගලවා ඉවත් කර තිබේ. 

ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලියට පොරතුව, පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් සඳහා පැමිණෙන විට වනිඳු හසරංග සිය කරාබු ඉවත්කර තබා පැමිණ සිටියේය. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් මාස දෙක හමාරක පමණ කාලයක් සඳහා වැඩ බරගත් සනත් ජයසූරිය මහතා පළමුවෙන්ම කියා සිටියේ ක්‍රීඩකයන් පෞද්ගලික මට්ටමින් කුමක් කළත්, අන්තර්ජාතික තරග සඳහා සහභාගි වීමේදී පච්ච, මාල, වළලු සහ කරාබු ගලවා ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් ලෙසින් පිටියට පා තැබිය යුතු බවයි. 

තමන් පුහුණුකරුවා වශයෙන් සිටින්නේ තාවකාලික පදනමකින් වුවත්, ජාතික ක්‍රීඩකයන් දෙස බලාගෙන ඔවුන්ව ආදර්ශයට ගන්නා පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් ද සිටින බැවින් “විනයක් ඇතුව අඳින්න පළඳින්න” ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් පුරුදු පුහුණු විය යුතු බව ද සනත් ජයසූරිය මහතා ක්‍රීඩකයන්ට කියා තිබේ. 

“අපි ලොකු දේවල් කරන්න හදන්නේ නෑ”

“ඒත් පොඩි පොඩි දේවල් වුණත් පිළිවෙලක් ඇතුව කෙරෙන්න ඕන” 

“දැනට අපි කියලා තියෙන්නේ අන්තර්ජාතික තරග වලට එනකොට, ඔය කොණ්ඩා මෝස්තර, කරාබු, පච්ච වගේ දේවල් ගෙදර තියල එන්න කියලයි” යයි සනත් ජයසූරිය මහතා පැවසීය. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩාවැටීම ආරම්භ වූයේ 2015 පමණ සිටය. ඒ කාලයේදී කණ්ඩායමට රිංගා ගත් කොණ්ඩා මෝස්තර, පච්ච කෙටීම් සහ කරාබු පැළඳීම් නිසා එක් එක් ක්‍රීඩකයන් මහත් සේ ජනප්‍රිය වූ නමුත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව බිංදුවටම වැටිණ. 

2014 දී විස්සයි-20 ලෝක කුසලාන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම, විස්සයි-20 අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් හඳුන්වා දුන් දිනයේ පටන් වසර දෙකකට ආසන්න කාලයක් අංක 1 ස්ථානය හිමිකරගෙන සිටියද මේ වන විට විස්සයි-20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අතරේ 8 වැනි ස්ථානයට ඇදවැටී තිබේ. ටෙස්ට් සහ එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව අංක 7 ස්ථානයේ සිටින නමුත් ලබන වසරේදී පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ද ශ්‍රී ලංකා කණ්ඩායම හැලී ගොස් තිබේ. 

“මම තාවකාලික පුහුණුකරුවෙක්. මම ඉන්නේ සංචාර දෙකක් සඳහා විතරයි. ඒත් මම ඉන්න වෙලාවේ මට ඒ විනය තියෙන්න ඕනේ”

“ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන මිනිස්සු, මේ ක්‍රීඩකයන්ටත් ආදරෙයි. ක්‍රීඩකයන් දිහා ඒ ගොල්ලන් බලන් ඉන්නවා. ඒ වගේම පොඩි ක්‍රිකට් ක්‍රීඩකයෝ ලොකු අය දිහා බලන් ඉන්නවා. ඒ අයව අනුගමනය කරන්න කැමතියි.. ඒ හින්දා අපි හොඳ දේවල් කළොත් අර හැදීගෙන එන පොඩි අයත් හොඳ වේවි”

“මේක මහත්වරුන්ගේ ක්‍රීඩාවක් කියලනේ කියන්නේ... ඉතිං ඒක මහත්වරුන්ගේ තත්ත්වයෙන්ම තියාගනිමු” යයි සනත් ජයසූරිය මහතා පැවසීය. 


ඡායාරූප - ඉෂාර කොඩිකාර (ඒ.එෆ්.පී.) සහ ජයමාල් චන්ද්‍රසිරි


අදහස් (4)

වනිඳු කරාබු ගලවයි
  • Ponseka Saturday, 27 July 2024 01:04 AM

    කරාබු නෙමෙයි.., සල්ලි ගලන ක්‍රිකට් යන්තරය නවතියි කියලා බයට ඕන එකක් ගලවයි කිව්වොත්...

    Reply 0       0

    Janaka Saturday, 27 July 2024 05:05 AM

    නඩු කාරයෙක්, දෙස්තර කෙනෙක්, හෙදියක්, ඉංජිනේරුවන්, මෙන්ම කම්කරුවන්ටත් විනය කියලා දෙයක් තියෙනවා. ඒක රටේ නැති කරලා මොන ජයග්‍රහණය ගත්තත් වැඩක් නැහැ. ඔබ ගත් තීන්දුව පවත්වාගෙන යන්න. තීන්දු ගැනීම අමාරුයි. ඒවා පවත්වාගෙන යන එක ඊට වඩා අමාරුය

    Reply 0       0

    Malin Saturday, 27 July 2024 12:33 PM

    දැන් ඉන්න ක්‍රීඩකයෝ බොහොමයකට රට ගැන හැගීමක් නැහැ. සල්ලිම තමයි.

    Reply 0       0

    Chamani Weerasinghe Saturday, 27 July 2024 08:59 PM

    කවුරු කොච්චර මොනවා කිව්වත් 1996 ලෝක කුසලානය දිනපු කණ්ඩායමේ තිබ්බ විනය පිළිවෙල සහ කැප කිරීම ඊට පසුව තිබ්බේ නැ. දැන් තනිකර සල්ලි පස්සේ දුවන ගතියක් තියෙන්නේ. රට ගැන හිතන්නේ නෑ...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.