Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International අයි.පී.එල් තරගාවලියටත් ඔට්ටුකරුවන්ගේ ඒජන්තයෝ රිංගති

අයි.පී.එල් තරගාවලියටත් ඔට්ටුකරුවන්ගේ ඒජන්තයෝ රිංගති

editorial - 2020 ඔක් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයෙකුගෙන් සිය කණ්ඩායම පිළිබඳ තොරතුරු රහසේ ඉල්ලා සිටීම නිසා 2020 අයි.පී.එල්. තරගාවලියටත් මුදලට තරග පාවාදීමේ වංචාකරුවන් රිංගාගෙන ඇද්ද යන්න සැක පහළ වී තිබේ. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී අංශයේ ප්‍රධානියා කියා සිටියේ 2020 අයි.පී.එල්. තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයකුගෙන් කිසියම් පුද්ගලයකු ඔහුගේ කණ්ඩායම සම්බන්ධ තොරතුරු රහසේ ඉල්ලා ඇති බවයි.

කලකට ඉහතදී දූෂණයෙන් පීඩා විඳි ලොව ධනවත්ම ක්‍රිකට් ලීගය වන අයි.පී.එල්. තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීය. කොරෝනා වසංගතය ඉන්දියාවේ පැතිර යාම හේතුවෙන් තරගාවලිය  එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගෙනැවිත්, ප්‍රේක්ෂකයන් නොමැතිව පැවැත්වෙන නමුත් ‘තරග පාවාදීමට සම්බන්ධ වංචාකරුවෝ කොතැනින් හෝ තමන්ගේ අරමුණු ඉෂ්ඨ කරගැනීමේ ඉඩක් සොයති.

කොරෝනා වයිරස තත්ත්වය හේතුවෙන් කණ්ඩායම් 8 ම වෙන වෙනම ජෛව ගෝල (ඒකක) ලෙසින් කටයුතු කළත් තරග පාවාදීමේ වංචාකරුවන් තමන්ගේ උත්සාහය අතහැර දමා නැත.

ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ  දූෂණ විරෝධී අංශයේ ප්‍රධානී අජිත් සිං මහතා ඒඑෆ්පී වෙත පැවසුවේ "දූෂිතයෙක් ක්‍රීඩකයකු වෙත ළඟාවී තියෙනවා. ඔහු (ක්‍රීඩකයා) ඒ සැණෙන්ම ඒ බව අපට දැනුම් දුන්නා" කියායි

"අපි දන්නවා කවුද ළඟට ආවේ කියලා ... අපි ඉන්නේ ඒ ගැන හොයමින් තමා" යයිද අජිත් සිං මහතා ප්‍රංශ පුවත් සේවයට පවසා සිටියේය.

කෙසේ වෙතත් අදාළ ක්‍රීඩකයා කවුරුන්ද යන්න හෙළිදරව් කිරීමට දූෂණ විරෝධී නිලධාරියා ඉදිරිපත් නොවීය.

ඔහු "ඒ තරම් ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක් නෙමේ"  යයි කියමින් ක්‍රීඩකයාගේ අනන්‍යතාවය වසං කළ අජිත් සිං මහතා සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පැවසීම මඟහැර සිටියේය. තරඟාවලිය ආරම්භ වීමට පෙරම අජිත් සිං  මහතා ඒඑෆ්පී වෙත පැවසුවේ මේ වන විට ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ බහුල ක්‍රමවේදයක් වන ‘ජෛව ගෝල‘ ඕනෑම නීති විරෝධී ප්‍රවේශයක් වඩාත් පහසු කරවන බවයි.

අන්තර්ජාලයේ ඔට්ටු ඇල්ලීම නිරීක්ෂණය කරන සමාගමක් වන ස්පෝට්ස්රාඩාර් සමඟ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගිය මාසයේ ගිවිසුමක් අත්සන් කළේය. මෙවර තරගාවලිය දූෂිතයන්ගෙන් ආරක්ෂා කරගැනීම එහි අරමුණ විය.

මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් පැවැත්වෙන අයිපීඑල් තරගාවලිය 2008 දී ආරම්භ වූ දා සිටම විවිධ ආකාරයේ දූෂණ හා තරග පාවාදීම් වලට ලක්විය. දූෂිත ප්‍රවේශයන් වාර්තා කිරීමට අපොහොසත් වීම හේතුවෙන් බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක සකීබ් අල් හසන් පසුගිය වසරේදී තරග තහනමකට ලක්වූයේය.

වසර 2013 දී සිදු වූ තරග පාවාදීමේ වංචාවක් හේතුවෙන් චෙන්නායි සුපර් කිංග්ස් සහ රාජස්ථාන් රෝයල්ස් යන කණ්ඩායම් 2015 දී තරග වාර දෙකක් වෙනුවෙන් තහනම් කරනු ලැබිණ.

 


අදහස් (0)

අයි.පී.එල් තරගාවලියටත් ඔට්ටුකරුවන්ගේ ඒජන්තයෝ රිංගති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.