Last Update  :  2024-09-19 19:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඇට්කින්සන් එංගලන්තයේ ජය ඉක්මන් කරයි
ලෝඞ්ස් ටෙස්ට් තරගය

ඇට්කින්සන් එංගලන්තයේ ජය ඉක්මන් කරයි

editorial - 2024 සැප් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලන්ඩන් නුවර ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 190 ක පහසු ජයක් ලැබූ එංගලන්තය, තවත් තරගයක් ඉතිරිව තිබියදීම දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට සමත් විය. එංගලන්තය පළමු තරගය මෙන්ම දෙවැනි තරගයද ජය ගත්තේ සිවුවැනි දිනයේදී වීම කැපී පෙනුණු සිදුවීමක් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 483 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ ඒ ගැන වැඩි අවධානයක් යොමු නොකර දින දෙකක් පුරා තමන්ගේ කඩුලු ආරක්‍ෂා කරගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් දෙවැනි ඉනිම ඇරඹූහ. එහෙත් සිවුවැනි දිනය වූ ඊයේ (1 වැනිදා) තේ පානයෙන් මඳ වේලාවකට පසුව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 292 කට සීමා කිරීමට ගස් ඇට්කින්සන් (62/5) ප්‍රමුඛ එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. 

දිවා ආහාරය සඳහා ක්‍රීඩාව නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 136 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම, දිවා ආහාරයත් තේ පානයත් අතර කාලය තුළ තවත් කඩුලු 3 ක් අහිමි කරගත්තේය. එහිදී ඇන්ජලෝ මැතිව්ස් (36), දිනේෂ් චන්දිමාල් (58) සහ කමිඳු මෙන්ඩිස් (4) පිටියෙන් ඉවත් කිරීමට ෂොයිබ් බෂීර් සහ ඇට්කින්සන් සමත් වූහ. 

තේ පානයෙන් පසුව සිය 16 වැනි ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කළ නායක ධනංජය ද සිල්වා ආපසු ක්‍රීඩාගාරය බලා ගියේ ඇට්කින්සන්ගේ සිවුවැනි ගොදුර බවට පත් වෙමිනි. තරමක වේගවත් පිතිහරඹයක නිරත වූ මිලාන් රත්නායක ලකුණු 43 ක් ලබා සිටියදී දැවී ගියේ ඇට්කින්සන්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩන ජෙමී ස්මිත් අතට පහසු උඩ පන්දුවක් ලබා දෙමිනි. 

ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිටම දෙවැනි වරටත් පිතිහරඹයට යැවීමේ පහසු අවස්ථාවක් තිබුණ නමුත් එංගලන්ත ක්‍රීඩකයෝ සිකුරාදා නැවතත් පිති අතට ගත්හ. දෙවැනි ඉනිමේදීත් ශතකයක් ලබාගත් ජෝ රූට් (103) ටෙස්ට් පිතිකරුවන් අතර සුවිශේෂී කුලකයකට ඇතුළත් විය. 

දෙවැනි ඉනිමේදී ටෙස්ට් තරගයකට වඩා එක්දින පිතිහරඹයක සෙයියාවක් නිරූපනය කළ එංගලන්ත පිතිකරුවෝ ඕවර 54 කින් ලකුණු 251 ක් ලබාගත්තේ ලකුණු වාසිය 500 ආසන්නයටම ගෙන යමිනි. මුල් ඉනිමේදී ලකුණු 231 ක වාසියක් අත්කරගත් එංගලන්ත කණ්ඩායම, ලෝඞ්ස් තරගයෙන් ජයගැනීම සඳහා සිව්වැනි ඉනිමේදී හැකිනම් ලකුණු 483 ක් ලබාගන්නා ලෙසින් ශ්‍රී ලංකා පිලට අභියෝග කළේය. 

- 036 


අදහස් (0)

ඇට්කින්සන් එංගලන්තයේ ජය ඉක්මන් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.