Last Update  :  2025-01-23 16:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඇමරිකාවේදී ශ්‍රී ලංකා පිලට කුඩම්මාගේ සැලකිලි
වි-20 ලෝක කුසලාන 2024

ඇමරිකාවේදී ශ්‍රී ලංකා පිලට කුඩම්මාගේ සැලකිලි

editorial - 2024 ජුනි මස 05 1085 Views 6 Comment
A A A

(ශානුක අරවින්ද ටෙක්සාස් ප්‍රන්තයේ ඩලස් නුවර සිට..)

මෙවර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාවට හිමිව ඇති තරග කාලසටහන සම්බන්ධයෙන් පිට දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ දැඩි නොසතුට පළ කර සිටියි. ඊට හේතු වී ඇත්තේ තරගාවලියේ මූලික වටයේදී සහභාගිවන තරග 4 ක්‍රීඩාංගණය 4 කදී ක්‍රීඩා කිරීමට සිදුව ඇති කණ්ඩයාම් දෙකෙන් එකක් බවට ශ්‍රී ලංකාව පත්ව තිබීමය.

එලෙස අගතියට පත්ව ඇති සෙසු කණ්ඩායම නෙදර්ලන්තය වන අතර ඉතිරි කණ්ඩායම සියල්ලටම ඔවුන්ගේ මූලික වටයේ තරග 4 න් 2 ක් හෝ එකම ක්‍රීඩාංගණයක ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිව තිබේ. මේ අතර ඉන්දියාවට, දකුණු අප්‍රිකාවට සහ නවසීලන්තයට ඔවුන් ක්‍රීඩා කරන මූලික වටයේ තරග 4 න් 3 බැගින් එකම ක්‍රීඩාංගණයකදී ක්‍රීඩා කිරීමට හැකි වන පරිදි සංවිධායකයන් තරග කාලසටහන සකසා තිබීම කැපී පෙනෙන සිදුවීමකි.

පුහුණු තරග සඳහා ෆ්ලෝරීඩා ප්‍රාන්තය වෙත ගොස් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම, දකුණු අප්‍රිකානු තරගයට සහභාගි වීම සඳහා නිව්යෝක් නුවරට පැමිණියේ පැය ගණනක ගුවන් යානා ප්‍රමාදයකින්ද පසුවය. එපමණක් නොව ⁣නිව්යෝක්හිදී ශ්‍රී ලංකා කණ්ඩායමට නවා⁣තැන් ගැනීම සඳහා වෙන්කර තිබූ හෝටලය, ක්‍රීඩාංගණයේ සිට පැයකුත් විනාඩි 40 ක පමණ දුරකින් පිහිටා තිබූ බවද දැනගන්නට ලැබිණ. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු තරගයට පෙර නිව්යෝක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තිබූ පුහුණු සැසි දෙකෙන් එකක් අවලංගු කර දැමීමටද සිදුවිය.

"අපිට මූලික වටයේ තරග තියෙන්නෙ ක්‍රීඩාංගණ හතරක. ඒ නිසා අපිට හැමදාම තරගයෙන් පස්සෙ වෙනත් තැනකට පිටත්ව යන්න වෙනවා. එය හරිම අපහසුයි, වෙහෙසකාරී. අපිට ෆ්ලෝරිඩාවල මියාමි ගුවන් තොටු⁣පළෙත් පැය අටක් පමණ රැඳී සිටීමට සිදු වුණා. අපි එහෙන් පිටත් වීමට නියමිතව තිබුණේ රාත්‍රී 8 ට, නමුත් අපිට ගුවන් යානය ලැබුණේ උදේ 5 ට. ඒක ඇත්තටම අපිට වුණ ලොකු අසාධාරණයක්. ඒත් ක්‍රීඩා කරන විට ඒක අදාල නැහැ."

"එකම ස්ථානයේ නැවතිලා ඉන්න අවස්ථාව ලැබිලා තියෙන කණ්ඩායම්වල නම් කියන්න මට බැහැ, ඒත්  ඔවුන්ගේ හෝටල් ක්‍රීඩාංගණවලට විනාඩි 15 ක පමණ දුරකින්. අපේ හෝටලයට ක්‍රීඩාංගණයෙ ඉදන් පැයකුත්, විනාඩි 40 ක් වගේ යන්න තියෙනවා. ඒ නිසා දකුණු අප්‍රිකානු තරගය තිබුණේ උදේ 10.30 වුණත් අපිට පාන්දර 5 ට විතර හෝටලයෙන් එන්න වුණා. යැයි සිය කණ්ඩායම නිව්යෝක් නුවරට පැමිණීමේදී සහ පැමිණි පසු මුහුණදුන් අසීරුතාවන් ගැන අදහස් දක්වමින් තීක්ෂණ කියා සිටියේය.

මූලික වටයේ තරග විවිධ ක්‍රීඩාංගණවලදී ක්‍රීඩා කිරීමෙන් ශ්‍රී ලංකාවට එම ක්‍රීඩාංගණවල තණතීරු හැසිරෙන ආකාරය දැන ගැනීමට හෝ තක්සේරු කිරීමට ඇති අවස්ථාව අහිමි වන බවද තීක්ෂණ සඳහන් කළේය. දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රි ලංකාවේ පළමු තරගය නිව්යෝක්හි පැවත්විණ. එහිදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම, ලකුණු 77 කට දැවී ගිය අතර ඉන් කඩුලු 6 ක පරාජයක්ද ලැබිණ.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට නිව්යෝක් ක්‍රීඩාංගණය පිළිබඳව යම් වැටහීමක් ඇතත් කණගාටුවට කරුණ මින් ඉදිරියට ඔවුන්ට එම ක්‍රීඩාංගණයේදී කිසිදු තරගයකට සහභාගි වීමට සිදු නෙවීමය. ශ්‍රි ලංකාවට මීළඟ තරගයේදී බංග්ලාදේශයට එරෙහිව තරග වැදීමට සිදුව ඇත්තේ ඩලස් ක්‍රීඩාංගණයේදී වන අතර එම ක්‍රීඩාංගණයේදී පිළිබඳවද ඔවුන්ට කිසිදු පූර්ව නිගමනයකට පැමිණීමට නොහැකි වී තිබේ. ඔවුන්ට යම් තරමක හෝ අවබෝධයක් සහ අත්දැකීමක් ඇත්නම් ඒ පෙරහුරු තරග දෙක ක්‍රීඩා කළ ෆ්ලෝරීඩා ක්‍රීඩාංගණය පිළිබඳව පමණි.

"අපේ තරග හතර තියෙන්නෙ ක්‍රීඩාංගණ හතරක. ඒක හරිම අමාරුයි. අපි මේ ක්‍රීඩාංගණවල තත්වයන් ගැන කලින් දැනන් හිටියේ නෑ. අපි නිව්යෝක්වලදි ක්‍රීඩා කරපු පළමු තරගය එයයි. මීළඟ තරගය තියන ඩලස් තණතීරුවත් අපිට අලුත්. තුන්වැනි තරගය තියෙන ෆ්ලොරිඩාවල නම් අපි පෙරහුරු තරග දෙකක් ක්‍රීඩා කළා. ඒක තමයි අපිට තියෙන එකම ධනාත්මක ලකුණ. ඒත් සමහර කණ්ඩායම් ඔවුන්ගේ මුලික වටතේ තරග 2 ක් නැත්නම් 3 ක් එකම ක්‍රීඩාංගණයක ක්‍රීඩා කරන්න ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි සමහරු ඔවුන්ගේ පෙරහුරු තරග ක්‍රීඩා කළෙත් ඒ ක්‍රීඩාංගණවලදිමයි. ඒක ඔවුන්ට ලොකු වාසියක්." යැයිද තීක්ෂණ පැවසීය.

බංගලාදේශයට එරෙහිව අනිද්දා (7 වැනිදා) ඩලස්හිදී පැවැත්වෙන තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට දින තුනක කාලයක් තිබූ අතර ඉන් පළමු දිනයේදී ඩලස් වෙත ලඟා වූ ඔවුහු, දෙවැනි සහ තෙවැනි දිනවලදී පුහුණු සැසි දෙකකට සහභාගි වීමට සූදානමින් සිටියහ. ඉන් පසුව ඔවුන් 11 වැනිදා පැවැත්වෙන නේපාල තරගයට ක්‍රීඩා කිරීම සඳහා ෆ්ලෝරීඩා බලා පිටත්ව යන අතර පසුව 16 වැනිදා පැවැත්වෙන මූලික වටයේ අවසන් තරගයේදී  නෙදර්ලන්තයට එරෙහිව තරග වැදීම සඳහා ශාන්ත ලුසියා බලා යනු ඇත


අදහස් (6)

ඇමරිකාවේදී ශ්‍රී ලංකා පිලට කුඩම්මාගේ සැලකිලි
  • රුවන් Thursday, 06 June 2024 06:04 AM

    නටන්න බැහැ පොළව ඇදලු...

    Reply 0       0

    nishantha Thursday, 06 June 2024 06:44 AM

    කාලා බීලා, ජොලි කරලා යන්න.

    Reply 0       0

    sanath Thursday, 06 June 2024 10:11 AM

    ඔව්, ඇත්ත... ඒ වගේම අසාධාරණයි.

    Reply 0       0

    සනත් Thursday, 06 June 2024 12:23 PM

    ඕවා අපිට කියන්න එපා. ඕගොල්ලෝ සේවය කරන රේස් බයි රේස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ උතුමාණන්ට කියන්න...!

    Reply 0       0

    fairoos Thursday, 06 June 2024 02:17 PM

    නටන්න බැරි මිනිහට පොළව කොහොමත් ඇදයිනේ...

    Reply 0       0

    mangala Thursday, 06 June 2024 06:31 PM

    අපත ටීම් කවුද ගණන් ගන්නේ...?

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.