Last Update  :  2025-01-23 16:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඉන්දියානුවෝ ලකුණු 6 කින් පාකිස්තානය පරදවති
වි-20 ලෝක කුසලාන 2024

ඉන්දියානුවෝ ලකුණු 6 කින් පාකිස්තානය පරදවති

editorial - 2024 ජුනි මස 09 728 Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)   

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ඉන්දියාව සහ පාකිස්තානය අතර නිව්යෝක් නුවර නසාවු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ‍ඊයේ (9 වැනිදා) පැවැති තරගයේදී ලකුණු 6 ක තියුණු ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාව ලැබූ දෙවැනි ජය මෙන්ම පාකිස්තානය ලැබූ දෙවැනි පරාජයද මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 120 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තානයට ජස්ප්‍රීට් බුම්රා ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූ‍යේ ලකුණු 113 ක් පමණි. විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ බුම්රා සිය ඕවර 4 ලකුණු 14 කට සීමා කරමින් කඩුලු 3 ක් බිඳහෙළුවේ ජයග්‍රහණයේ නියමුවා බවට පත් වෙමිනි.

පාකිස්තාන ආරම්භක පිතිකරු මො‍හොමඩ් රිස්වාන් පන්දු 44 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 31 ක් රැස්කළ නමුත්, සෙසු පිතිකරුවන්ගෙන් එක් අයකුට හෝ ලකුණු 15 සීමාව ඉක්මවා යෑමට ඉන්දීය පන්දු යවන්නෝ ඉඩක් ලබා නොදුන්හ. එහිදී හර්දීක් පාණ්ඩ්‍යා කඩුලු 2 ක් දවාගත්තේ ප්‍රතිවාදී පිතිකරුවන්ට ලකුණු 23 ක් ලබා දෙමිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාවට ඕවර 19 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 119 ක් පමණි. විස්සයි-20 ජාත්‍යන්තර තරගයකදී පාකිස්තාන කණ්ඩායමක් හමුවේ ඉන්දීය කණ්ඩායමක් සියලු දෙනා දැවී ගිය පළමු අවස්ථාව මෙය වූ අතර විස්සයි-20 ජාත්‍යන්තර තරගයකදී ඉන්දීය කණ්ඩායමක් ලබාගත් සිවුවැනි අඩුම ලකුණු සංඛ්‍යාවද ලෙසද මෙය වාර්තා අතරට එක් විය.

පළමු ඕවර 10 තුළ කඩුලු 3 ක් දැවී ලකුණු 81 ක් ලබා සිටි ඉන්දීය කණ්ඩායමට අවසන් ඕවර 9 තුළ කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 38 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීම්හි නිරත වූ නසීම් ෂා සහ හාරිස් රවුෆ් කඩුලු 3 බැගින් දවාගත් අතර මොහොමඩ් අමීර් කඩුලු 2 ක් බිඳහෙළමින් ඉන්දීය ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔවුන්ට අනගි සහායක් දුන්හ.

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ රිෂාබ් පාන්ට් පන්දු 31 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 42 ක් රැස්ළේය. ලකුණු 19 කට කඩුලු 2 ක් බිඳවැටී තිබියදී අක්සර් පටේල් (20) සමග එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 39 ක් එක්කළ පාන්ට්, ඉන් නොනැවතී සූර්යකුමාර් යාදව් (7) සමග එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 31 ක්ද එක් කළේය.

සිවුවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිස පන්දු 18 කට මුහුණදුන් පටේල්, හයේ පහරකින් සහ හතරේ පහර 2 කින් සිය ඉනිම සැරසුවේය. ආරම්භ පිතිකරුවන් ලෙස කටයුතු කළ ‍නායක රෝහිත් ශර්මා (13) සහ වි‍රාට් කෝලි (4) අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී යෑම ඉන්දියාවට විශාල පාඩුවක් බවට පත් විය.  

ඉන්දියාව - ඕවර 19 කදී සියලු දෙනා දැවී 119  

(රිෂාබ් පාන්ට් 42, අක්සර් පටේල් 20, නසීම් ෂා 21/3, හාරිස් රවුෆ් 21/3, මොහොමඩ් අමීර් 21/2)

පාකිස්තානය - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 113

(මොහොමඩ් රිස්වාන් 31, ඉමාඩ් වසීම් 15, ජස්ප්‍රීට් බුම්රා 14/3, හර්දීක් පාණ්ඩ්‍යා 24/2)


අදහස් (0)

ඉන්දියානුවෝ ලකුණු 6 කින් පාකිස්තානය පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.