Last Update  :  2025-03-12 12:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International කුසල් මෙන්ඩිස් තනිවම සටනේ...
වෝන් - මුරලිදරන් කුසලාන

කුසල් මෙන්ඩිස් තනිවම සටනේ...

editorial - 2025 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(දමින්ද විජේසූරිය - ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට)

නේදන් ලයන් (47/3) සහ ට්‍රැවිස් හෙඩ් (18/1) එක්ව ලකුණු 34 ක් ඇතුළත ශ්‍රී ලංකා පිතිකරුවන් සිව් දෙනකු ආපසු ක්‍රීඩාගාරයට යැවීම නිසා දිවා ආහාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම අමාරුවේ වැටුණේය. පසුව රමේෂ් මෙන්ඩිස් (28) සමගින් එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 65 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ කුසල් මෙන්ඩිස් (නොදැවී 59), දිනය අවසන් වන තුරුත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කරගෙන ගිය සටන අත නොහැර සිටියේය. 

ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (06 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී ලකුණු 229 ක් ලබා තිබිණ. 
 
මැද පෙළේ සියලුම පිතිකරුවන් අසාර්ථක වෙද්දී සුපුරුදු ආක්‍රමණශීලී පිතිහරඹය පසෙක තබා කණ්ඩායමේ බර කරට ගත් කුසල් මෙන්ඩිස්, ඒ වන විටත් අර්ධ ශතකය සම්පූර්ණ කර සිටි දිනේෂ් චන්දිමාල් සමගින් ඉදිරියට ගියේ මහත් පරෙස්සමෙන් සිය කඩුල්ල ආරක්‍ෂා කරගනිමිනි. එහෙත් ඇහිපිල්ලමක් ගහන පමාවෙන් චන්දිමාල් ස්ටම්ප් කිරීමකට හසුකරගත් ඇලෙක්ස් කේරි, පිතිකරුවන් දෙදෙනා අතර සම්බන්ධතාව බිඳ දැම්මේය. හතරේ පහර 6 කින් සහ හයේ පහරකින් සමන්විත වූ චන්දිමාල්ගේ විනාඩි 217 ඉනිම ලකුණු 74 දී නිමාවූයේ පිට පිටම දෙවැනි තරගයේදීත් ඔහුට ශතකය අහිමි කරමිනි. පළමු ටෙස්ට් තරගයේදීත් චන්දිමාල් ලකුණු 72 ක් ලබාගත්තේය. 

රමේෂ් මෙන්ඩිස් සමගින් එක්වුණ කඩුලු රකින්නා, පැය  එක හමාරක් තිස්සේ, හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 65 ක් එකතු කළද දෙවැනි නව පන්දුව දෙදෙනාට හරස් විය. ලකුණු පුවරුවේ 210 කට කඩුලු 6 ක් ලෙසින් සටහන්ව තිබියදී දෙවැනි නව පන්දුව ලබාගත් ඕස්ටේ්‍රලියානු නායකයා, පන්දු 15 ක් ඇතුළත ලකුණු 14 කට කඩුලු 3 ක් දවාගත්තේය. දෙවැනි නව පන්දුව ලබාගන්නා විට ලකුණු 26 ක් ලබා සිටි රමේෂ් මෙන්ඩිස්, ලකුණු 28 දී දැවී ගියේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරය වන විට තරගයේ වාසිය මිට මොළවාගෙන සිටියේය. දිමුත් කරුණාරත්න (36) සහ දිනේෂ් චන්දිමාල් (නොදැවී 70) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 70 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත්  නේදන් ලයන් විසින් දිමුත්ගේ ඉනිම අවසන් කිරීමත් සමගින් ශ්‍රී ලංකා පිතිකරුවෝ එකා පසුපස එකා දැවී ගියහ. 

තණතීරුව එන්න එන්නම මන්දගාමී වෙමින් තිබේ. 

දිවා ආහාරයෙන් පසුව යැවුණු තුන්වැනි ඕවරයේදී තණතීරුවේ පහළින් පැමිණි පන්දුව දිමුත්ගේ සපත්තුවේ වැදී ඔහුගේ පා ඉන්නේ වැදුණේය. තම 100 වැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කරමින් සිටි කරුණාරත්නගේ පිතිහරඹය ලකුණු 36 දී නතර වූයේ දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව ද ලකුණු 93 දී අවසන් කරමිනි. 

නේදන් ලයන් විසින් විනඩි 20 ක් ඇතුළත ඇන්ජලෝ මැතිව්ස් දවාගන්නා ලදි. ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින වඩාත්ම ජ්‍යෙෂ්ඨ සහ අත්දැකීම් බහුලතම පිතිකරුවාට ලබාගත් හැකිවූයේ එක ලකුණකි. 

කමිඳු මෙන්ඩිස් සහ චන්දිමාල් එක්ව ලකුණු සංඛ්‍යාව ඉදිරියට ගෙන යමින් සිටියදී පන්දුව අතට ගත් ට්‍රැවිස් හෙඩ් විසින් වමත් පිතිකරුවා දවාගන්නා ලදි. ‘බැක් කට්’ පහරක් ගැසීමට උත්සාහ කළ කමිඳු සිය පහරට පිත්ත ගෙන එමින් සිටියදී ට්‍රැවිස්ගේ පන්දුව පැමිණ, පිත්තේ වැදී පළමු ස්ලිප් හි සිටි ඕස්ටේ්‍රලියානු නායකයාගේ දෑත් අතර සැඟව ගියේය. ධනංජය ද සිල්වා මුහුණ දුන් පළමු පන්දුවේදීම ගලී හි සිටි බියු වෙබ්ස්ටර්ට උඩ පන්දුවක් දුන්නෙන්, ලකුණු 34 ක් ඇතුළත කඩුලු 4 ක් බිඳ වැටිණ. 

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් තුනක් සමගින් පිටියට පිවිසියේය. ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දු වෙනුවටට පැතුම් නිස්සංක කැඳවූ අතර වේග පන්දු යවන්නා වන අසිත ප්‍රනාන්දු වෙනුවට ළහිරු කුමාර කැඳවා තිබේ. 

පා දඟ පන්දු යවන්නා වූ ජෙෆ්රි වැන්ඩසේ වෙනුවට රමේෂ් මෙන්ඩිස් කැඳවීමත් සමගින්, නායක ධනංජය ද සිල්වාත් ඇතුළුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිට දඟ පන්දු යවන්නන් සංඛ්‍යාව 3 ක් වී තිබේ. නිශාන් පීරිස් සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනාම පිට දඟ පන්දු යවන්නන් වන නමුත් දෙදෙනාගේ පන්දු යැවීමේ ආකාරයේ වෙනසක් තිබේ. රමේෂ් වාඩත් සාම්ප්‍රදායික පිට දඟ පන්දු යවන්නකු වන නමුත් නිශාන් තරමක් වේගයෙන් පන්දු යවමින්, තණතීරුවෙන් හොඳ ඉපිළීමක් ලබාගන්නෙකි. 

ඕස්ටේ්‍රලියානු කණ්ඩායමත් පිට දඟ පන්දු යවන්නා වන ටොඩ් මර්ෆි වෙනුවට කූපර් කොනලි කණ්ඩායමට කැඳවා තිබේ. බටහිර ඕස්ටේ්‍රලියාවේ අගනගරය වන පර්ත් නුවරින් පැමිණෙන කූපර් කොනලි ද වමත් දඟ පන්දු යවන්නෙකි. 

දිමුත් කරුණාරත්නගේ 100 වැනි ටෙස්ට් තරගය මෙන්ම සමුගැනීමේ තරගයද වන බැවින් අද පෙරවරුවේදී ඔහුට විශේෂ සිහිවටන කිහිපයක්ම පිරිනමන ලදි. 


අදහස් (1)

කුසල් මෙන්ඩිස් තනිවම සටනේ...
  • Kavidu methshan Friday, 07 February 2025 08:08 AM

    කුසල් මෙන්ඩිස් තව ලකුණු 50 50 ගැහුවොත් මරු...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.