Last Update  :  2025-01-15 11:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International චමරිගේ ශතකයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්
ආසියානු කුසලාන වි20 කාන්තා

චමරිගේ ශතකයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්

editorial - 2024 ජුලි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

චමරි අතපත්තුගේ වේගවත් ශතකය හමුවේ මැලේසියානු කාන්තා කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (22 වැනිදා) පැවැති ආසියානු කුසලාන කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ හත්වැනි තරගයෙන් ලකුණු 114 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙම තරගාවලියේදී ලැබූ දෙවැනි ජය මෙය විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 184 ක් රැස්කළහ. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ චමරි අතපත්තු පන්දු 69 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 14 ක් සමග නොදැවී ලකුණු 119 ක් රැස්කළ අතර එය චමරිගේ දෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර ශතකය මෙන්ම ඉහළම විස්සසයි-20 ලකුණු සංඛ්‍යාවද විය.

ආරම්භක පිතිකාරිණී විෂ්මි ගුණරත්න එල් ලකුණකට දැවී ගියද, හර්ෂිතා සමරවික්‍රම (26) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 51 කදී ලකුණු 64 ක් එක්කළ චමරි, ඉන් නොනැවතී අනුෂ්කා සංජීවනී (31) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 62 කදී ලකුණු 115 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවාය.

පන්දු 24 කට මුහුණදුන් අනුෂ්කා සංජීවනී හතරේ පහර 4 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 23 කදී වාර්තා වූ හර්ෂිතාගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත් විය. ශ්‍රී ලංකා කාන්තා ඉනිමේ අවසන් පන්දු දෙකේදී අනුෂ්කාගේ සහ කවීෂා දිල්හාරිගේ කඩුලු බිඳ දැමීමට විනිෆ්‍රෙඞ් දුරයිසිංහම් සමත් වූවාය.

ජයග්‍රහණය සඳහා ලකුණු 185 ක ඉලක්කයක් හඹාගිය මැලේසියානු කාන්තා කණ්ඩායම ඕවර 19.5 ක් අවසානයේ ලකුණු 40 කට සීමා කිරීමට ශෂිනි ගිම්හානි ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශෂිනි සිය ඕවර 4 ලකුණු 09 කට සීමා කරමින් කඩුලු 3 ක් බිඳහෙළුවාය. ඇයට අනගි සහායක් දුන් කවීෂා දිල්හාරි සහ කාව්‍යා කාවින්දි කඩුලු 2 බැගින් දවාගත්හ.

 

ශ්‍රී ලංකා කාන්තා පිල
විෂ්මි ගුණරත්න - ඇ.එල්සා ප.සෞබිකා  1
චමරි අතපත්තු - නොදැවී  119
හර්ෂිතා සමරවික්‍රම - ප.මහීරා  26
අනුෂ්කා සංජීවනී - ප.විනිෆ්‍රෙඞ්  41
කවීෂා දිල්හාරි - ප.විනිෆ්‍රෙඞ් 0
අතිරේක  7
එකතුව ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී  184

පන්දුවට පහර නොදුන් ක්‍රීඩිකාවෝ :
නිලක්ෂි ද සිල්වා, අමා කාංචනා, ඉනෝකා ප්‍රියදර්ෂනී, කාව්‍යා කාවින්දි, සචිනි නිසංසලා, ශෂිනි ගිම්හානි

කඩුලු වැටීම :
1-05(විෂ්මි), 2-62(හර්ෂිතා), 3-184(අනුෂ්කා), 4-184(කවීෂා)

පන්දු යැවීම :
විනිෆ්‍රෙඞ් දුරයිසිංහම් 4-0-34-2, සෞබිකා මනිවානන් 4-0-32-1,  අයිනා හමීසා 3-0-35-0, අයිසියා එලීසා 4-0-45-0, මහිරා ඉස්මයිල් 4-0-23-1, අමලින් සෝෆිනා 1-0-15-0    


මැලේසියානු කාන්තා පිල
විනිෆ්‍රෙඞ් දුරයිසිංහම් - ප.කාව්‍යා  0
වැන් ජූලියා - ප.ශෂිනි  3
එල්සා හන්ටර් - ප.ශෂිනි 10
මහිරා ඉස්මයිල් - ප.අමා  7
අයිනා හසීම් - ඇ.කවීෂා ප.ප්‍රියදර්ෂනී  3
අයිනා නජාවා - නොදැවී  9
ධනුශ්‍රී මුහුනන් - ඇ.අනුෂ්කා ප.සචිනි  0
අයිසියා එලීසා - ප.ශෂිනි 1
සෞබිකා මනිවානන් - ඇ.අමා. ප.කවීෂා 0
ඉසතුල්ලා ස්‍යාෆිකා - ප.කවීෂා 0
අමලින් සෝෆිනා - ප.කාව්‍යා  1
අතිරේක  6
එකතුව ඕවර 19.5 කදී සියලු දෙනා දැවී  40

කඩුලු වැටීම :
1-00(විනිෆ්‍රෙඞ්), 2-14(ජූලියා), 3-17(එලීසා), 4-23(හසීම්), 5-32(මහිරා), 6-33(ධනුශ්‍රී), 7-37(අයිසියා), 8-38(සෞබිකා), 9-39(ස්‍යාෆිකා), 10-40(අමලින්)

පන්දු යැවීම :
කාව්‍යා කාවින්දි 3.5-1-07-2, ඉනෝෂි ප්‍රියදර්ශනී 2-0-10-1, ශෂිනි ගිම්හානි 4-0-09-3, සචිනි නිසංසලා 4-1-04-1, අමා කාංචනා 3-0-05-1, කවීෂා කාවින්දි 3-1-04-2

 

(ඡායාරූප - ආසියානු ක්‍රිකට් සම්මේලනය අනුග්‍රහයෙනි)


අදහස් (0)

චමරිගේ ශතකයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.