Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට...)
ගාල්ල ක්‍රීඩාංගණයේදී අද (29 වැනිදා) ආරම්භ වූ වෝන් - මුරලිදරන් කුසලාන පළමු වැනි ටෙස්ට් තරගයේදී ශතක දෙකකින් සිය ඉනිම සවිමත් කළ උස්මන් කවාජා (නොදැවී 147) සහ නායක ස්ටීවන් ස්මිත් (නොදැවී 104) ඕස්ට්‍රේලියානු කණ්ඩායම සවිමත් වේදිකාවකට කැඳවාගෙන ගියහ. පස්වරු 4.21 ට වර්ෂාව නිසා ක්‍රීඩාව නතර කිරීමට පෙර ඕස්ට්‍රේලියානුවෝ කඩුලු 2 කට ලකුණු 330 ක් ලබා සිටියහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් ලකුණු රැස්කිරීම තෝරාගත් ඕස්ට්‍රේලියානුවෝ, දිනය පුරාම, ඕවරයකදී ලකුණු 4.00 කට වැඩි වේගයක් රඳවා ගත් නමුත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දුන්නේ කඩුලු 2 ක් පමණි. ලකුණු ලබාගැනීමේ වේගය කෙතරම් වැඩි වූයේද යත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් එය පාලනය කරගත්තේ දිගින් දිගටම පා ඉන්න එල්ලයේ පන්දු යැවීමෙනි. එසේ වුවත් ඕවර 81 ක් ඇතුළත පන්දුව 35 වතාවක්ම හතරේ සීමාවෙන් එපිටට යැවීමට ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ සමත් වූහ.
ටෙස්ට් ලකුණු 9,999 ක් ලබා ශ්‍රී ලංකාවට පැමිණි ස්ටීවන් ස්මිත් අද දිවා ආහාරයට පෙර මුහුණ දුන් පළමු පන්දුවම මිඩ් ඕන් කලාපයට තල්ලු කරමින් සිය 10,000 වැනි ටෙස්ට් ලකුණ ලබාගත්තේය. වසර 147 ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේදී ටෙස්ට් ලකුණු 10,000 කඩයිම පසුකර ඇත්තේ පිතිකරුවන් 15 දෙනකු පමණි.
ස්මිත්ගේ 10,000 වැනි ලකුණ දැකබලා ගැනීම සඳහා පැමිණි ඕස්ට්‍රේලියානුවෝ රැසක්ම ගාල්ල ක්‍රීඩාංගණයේ සිටියහ.
“එක ලකුණක් බලාගන්න අපි ඕස්ට්‍රේලියාවේ ඉඳලා කිලෝමීටර 8358 ක් ගෙවාගෙන ශ්‍රී ලංකාවට ආවා” යයි ස්මිත් වෙනුවෙන් ලියැවුණු බැනරයක සටහන් වී තිබිණ.
සිය බැනියමේ ඉදිරිපස S M I T H යන ඉංග්‍රීසි අකුරු සටහන් කරගෙන සිටි තවත් ඕස්ට්‍රේලියානුවෝ පස් දෙනෙක් ප්‍රේක්ෂකාගාරය ඉදිරිපිට නටමින් සිටියහ. මේ පස් දෙනාම එකවර ආපසු හැරීමේදී ඔවුන්ගේ කමිස වල සටහන්ව තිබුණේ 10,000 ක් ලෙසිනි.
දිනය පුරාම (විනාඩි 317 යි) පන්දුවට පහර දුන් උස්මන් කවාජා සිය 16 වැනි ටෙස්ට් ශතකය ලබාගනිද්දී ස්ටීවන් ස්මිත් තමන්ගේ 35 වැනි ටෙස්ට් ශතකය සම්පූර්ණ කරගත්තේය. දෙදෙනා අතර තුන්වැනි කඩුල්ල වෙනුවෙන් පවතින අඛණ්ඩ සම්බන්ධතාව ලකුණු 195 කි.
ට්‍රැවිස් හෙඩ් ලකුණු 23 ක් ලබා සිටියදී අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ කඩුල්ල ආවරණය කළ නමුත් ඒ අවස්ථාවේදී විතීවි අවස්ථාව නොගැනීම ශ්‍රී ලංකා පිලට වඩාත්ම අවාසිදායක සිදුවීම විය. ස්ටීවන් ස්මිත් එක ලකුණක් පමණක් ලබා සිටියදී ආපසු පන්දු යවන්නා වෙතට දුන් උඩපන්දුව ප්‍රභාත් ජයසූරිය අතින් ගිළිහී ගිය අතර උස්මන් කවාජා ලකුණු 90 ක් ලබා සිටියදී ලැබුණු උඩපන්දුවක්, ඔහුගේ පා ආවරණයේ වැදී කඩුලු රකින කුසල් මෙන්ඩිස්ගේ දෑත් අතරින් පසුපසට ගොස් ධනංජය අබිමුවේ බිම වැටිණ.
ඕස්ට්‍රේලියානුවන් ආරම්භයේ සිටම කෙතරම් ආක්‍රමණශීලී වූයේද යත් දිවා ආහාරයට පොරතුව එකම නොයිඳුල් ඕවරයක් යැවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අවකාශ නොලැබිණ. ආරම්භක පිතිකරුවාගේ භූමිකාවට උසස් වීමක් ලද ට්‍රැවිස් හෙඩ් සහ උස්මන් කවාජා එක්ව කළ ප්‍රහාරාත්මක පිතිහරඹය හේතුවෙන් දිවා ආහාරය සඳහා ක්‍රීඩාව නතර කරන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 145 ක් ලබා සිටියේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන්ම පන්දුවට පහර දීම තෝරාගත් ඕස්ට්‍රේලියානුවෝ තරගය ආරම්භ වී හෝරාවක් ගතවීමටත් මත්තෙන් ලකුණු 96 ක් පුවරුවට එකතු කළහ. හෙඩ් සහ කවාජා දෙදෙනා, ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට රිසි සේ පහර දුන්හ. ට්‍රැවිස් හෙඩ්, පන්දු 40 කින් ලබාගත් ලකුණු 57 ට හතරේ පහර 10 ක් සහ හයේ පහරක් ඇතුළත් වී තිබිණ. එහෙත් හෙඩ්ගේ දෙවැනි හයේ පහර වැරදී ගියෙන් ‘ලෝන්ග් ඕන්’ ස්ථානයේ සිටි දිනේෂ් චන්දිමාල්ට පහසු උඩපන්දුවක් ලැබිණ.
තණතීරුවේ පිතිකරුවන්ට යෝග්‍ය තත්ත්වය නරක් වීමට මත්තෙන්, හැකි තරම් ලකුණු එක්කාසු කරගැනීමට උත්සුක වූ හෙඩ්, වමත් දඟ පන්දු යවන්නා හමුවේ ගැසූ පහරින් පන්දුව ඉහළ ගියා මිස ඔහු අපේක්ෂා කළ තරම් දුරකට නොගියේය. ඉහළින් ඇදී එන පන්දුව යටට යාමට චන්දිමාල්ට අවශ්‍ය තරම් කල්වේලා තිබිණ.
ජෙෆ්රි වැන්ඩසේ සිය පළමු පන්දුවේ සිටම පන්දුව තියුණු ලෙසින් පන්දුව දඟ කවන අතරේ එය ගුවනේ පා කරමින් සිටි බැවින් මානස් ලැබුෂේන් වැඩි වේලාවක් පිටියේ නොසිටියේය. වතාවක් වැන්ඩසේ හමුවේ ස්වීප් පහරක් ගැසීමට යාමෙන් අනූ නවයෙන් කඩුල්ල බේරාගත් ලැබුෂේන්, දිවා ආහාරයට විනාඩි 10 ක් තිබියදී ධනංජයට උඩපන්දුවක් දීමෙන් දැවී ගියේය. එසේ වුවත් දිවා ආහාරයෙන් පසුව වැන්ඩසේ මෙන්ම නිශාන් පීරිස් දෙදෙනාගෙන්ම ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට තර්ජනයක් නොතිබිණ.
සම්පූර්ණ දිනයක් පුරා පැවැති මන්දාරම පළවා හරිමින් අද උදෑසන හිරු පායා එත්ම තම තමන්ගේ කණ්ඩායම් සම්බන්ධයෙන් අවසන් නිගමනයට එළැඹුණු ශ්‍රී ලංකා සහ ඕස්ට්‍රේලියානු තේරීම් කමිටු නිලධාරීහු දඟ පන්දු යවන්නන් වෙත වැඩි බරක් තැබූහ.
අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පිටියට පිවිසෙන එකම වේග පන්දු යවන්නා වන අතර ඇන්ජලෝ මැතිව්ස්ගෙන් සහයෝගයක් අපේක්ෂා කෙරේ. කඩුලු දවාගැනීමේ වගකීම ප්‍රභාත් ජයසූරිය, නිශාන් පීරිස් සහ ජෙෆ්රි වැන්ඩසේ වෙත පැවරී තිබේ.
ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මිචෙල් ස්ටාක් නව පන්දුව බාර ගනු ඇත. දඟ පන්දු යැවීමට මෙන්ම අවස්ථානුකූලව මඳ වේග පන්දු යැවීමටත් හැකියාව ඇති බියු වෙබස්ටර් අනෙක් අන්තයෙන් නව පන්දුව බාරගනු ඇතැයි අපේක්ෂා කෙරේ. නේතන් ලයන්, මැතිව් කුනේමන් සහ ටොඩ් මර්ෆි ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන්නෝ වෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.