Last Update  :  2024-09-16 17:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ධනා - කමිඳු ශ්‍රී ලංකාව ඇදගෙන යති
ඕවල් ටෙස්ට් තරගය

ධනා - කමිඳු ශ්‍රී ලංකාව ඇදගෙන යති

editorial - 2024 සැප් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දිවා ආහාරයට පෙර එකම එක ඕවරයකට පමණක් මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායම, ඕවල් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (7 වැනිදා) පස්වරුවේ මන්දාලෝක තත්වය හේතුවෙන් ක්‍රීඩාව නතර කරන විට ඕවර 45 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 211 ක් ලබා එංගලන්තයට වඩා ලකුණු 114 ක් පසුපසින් සිටියේය. 

ලකුණු 93 කට කඩුලු 5 ක් දැවී යෑම හේතුවෙන් බිඳවැටී තිබූ ශ්‍රී ලංකා ඉනිමට නව ජවයක් එක් කළ නායක ධනංජය ද සිල්වා (නොදැවී 64) සහ කමිඳු මෙන්ඩිස් (නොදැවී 54) හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 118 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූහ. එහිදී ධනංජයගේ ඉනිම හතරේ පහර 10 කින්ද, කමිඳුගේ ඉනිම හතරේ පහර 6 කින්ද සමන්විත විය. 

ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් පැතුම් නිස්සංක තරමක් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 51 කින් ලකුණු 64 ක් රැස්කළේ හතරේ පහර 9 ක් සමගිනි. එහෙත් ක්‍රිස් වෝක්ස් රැකගත් විශිෂ්ට උඩ පන්දුවක් හමුවේ ජොෂ් හල්ගේ මංගල ටෙස්ට් කඩුල්ල බවට පත් වෙමින් පැතුම් පිටියෙන් ඉවත්ව ගියේය. 

දිමුත් කරුණාරත්න (9) දුවද්දී දවාගැනීමකට හසුකරගත් ඔලී ස්ටෝන්, ඉන් නොනැවතී ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉනිමද ලකුණු 3 කට සීමා කරමින්, දිනේෂ් චන්දිමාල් ලකුණු ලබාගැනීමටත් පෙරාතුව පිටියෙන් ඉවත් කළේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා අසීරු අඩියකට ඇද දමමිනි. ක්‍රිස් වෝක්ස්ගේ පන්දුවක් හමුවේ ස්ල්පිහි පන්දු රකිමින් සිටි හැරී බෘක් අතට උඩ පන්දුවක් දෙමින් දැවී යන විට කුසල් මෙන්ඩිස් ලබා සිටියේද ලකුණු 14 ක් පමණි. 

ලකුණු දෙකක් ඇතුළත දෙවරක්ම වාසනාව ලද නමුත් එතැනින් ලකුණු 7 කට වඩා ඉදිරියට යාමට හැරී බෲක්ට නොහැකි විය. කමිඳු මෙන්ඩිස්ගේ මනස්කාන්ත උඩපන්දු රැකීමකින්, හැරී බෲක් දවාගත් මොහොතේ සිටම ග්‍රහණය දැඩිකළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, එංගලන්ත පළමු ඉනිම ලකුණු 325 කට සීමා කළහ. 

ඊයේ සවස කඩුලු 3 කට ලකුණු 221 ක් ලබා සිටි එංගලන්ත කණ්ඩායමට අද දිවා ආහාරයට ස්වල්ප වේලාවකට මත්තෙන් සිය ඉනිම නිමා කිරීමට සිදුවිය. නායක ඔලී පෝප් ලබාගත් ලකුණු 154 නිසාම හිස් ඔසවාගෙන සිටි එංගලන්ත කණ්ඩායම වරෙක කඩුලු 4 කට 290 ක් ලබා සිටියද, ඔවුන්ගේ අවසන් කඩුලු හයම පන්දු 56 ක් තුළ ඇද වැටිණ. පෝප්ගේ ඉනිම හතරේ පහර 19 කින් සහ හයේ පහර 2 කින් සමන්විත විය. 

එංගලන්තයේ අනාගත බලාපොරොත්තුව වන හැරී බෲක් නම් තමන්ගේ පිතිහරඹය පිළිබඳ බෙහෙවින් කණගාටුවට පත්වනු නිසැකය. බෲක් ලකුණු 10 ක් ලබා සිටියදී ළහිරු කුමාරගේ පන්දුවකට කඩුලු රකින්නා වූ දිනේෂ් චන්දිමාල්ට උඩපන්දුවක් දුන්නේ යයි විනිසුරු ජොයෙල් විල්සන් මහතා තීරණය කළේය. එහෙත් පිටියේ විනිසුරුවරයාගේ තීන්දුව තුන්වැනි විනිසුරුවරයට යොමුකළ එංගලන්ත පිතිකරුවා තමන්ගේ කඩුල්ල රැකගත්තේය. 

මුලු ලකුණු සංඛ්‍යාව කඩුලු 3 කට 227 ක් ව තිබියදී හැරී බෲක් ගැසූ හිතුවක්කාර පහරක් නිසා ඉහළ ගිය පන්දුව ඩීප් පොයින්ට් හි සිටි අසිත ප්‍රනාන්දුගේ දෑතින් ගිළිහී ගියේය. මිලාන් රත්නායක අවාසනාවන්ත පන්දු යවන්නා විය. එහෙත් හැරී බෲක්ට යා හැකිවූයේ එතැන් සිට ලකුණු 7 ක් ඉදිරියට පමණි. එක්ස්ට්‍රා කවර්ස් හි සිටි කමිඳු මෙන්ඩිස් දකුණු පසට පනිමින් රැකගත් මනස්කාන්ත උඩපන්දුවක් නිසා බෲක්ගේ ඉනිම නිමා විය. 

ධනංජය, සිය පන්දු යවන්නන් වරින් වර මාරු කරමින් එංගලන්ත පිතිකරුවන් අන්ද මන්ද කළේය. වේග පන්දු යවන්නන් ඉතාමත් හොඳින් පන්දු යවමින් සිටියදී, තමාගේම පිට දඟ පන්දු වලින් කඩුලු දෙකක් දවාගත් ධනංජය පන්දු යැවීම නැවත වරක් වේග පන්දු යවන්නන්ටම බාර කළේය. ප්‍රතිඵලය වූයේ දිවා ආහාරයට මඳ වේලාවකට පොරතුව එංගලන්ත ඉනිම නිමා වීමයි. 


-036 

 


අදහස් (0)

ධනා - කමිඳු ශ්‍රී ලංකාව ඇදගෙන යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.