Last Update  :  2025-01-04 09:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International නවසීලන්තයටත් පැරදුණු ශ්‍රී ලංකාව හිස් අතින් ගෙදර එයි
කාන්තා වි:20 ලෝක කුසලාන

නවසීලන්තයටත් පැරදුණු ශ්‍රී ලංකාව හිස් අතින් ගෙදර එයි

editorial - 2024 ඔක් මස 12 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)  

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමග තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමේ බලාපොරොත්තු ඉහළ නංවාගැනීමටද නවසීලන්තයට හැකි විය.

එහිදී පිට පිටම සිවුවැනි පරාජයත් ලැබූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට මෙවර තරගාවලියේදී එක් ජයග්‍රහණයක් හෝ නොළබා හිස් අතින්ම ආපසු ගෙදර ඒමට සිදුවිය. ජයග්‍රහණය සඳහා ලකුණු 116 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත ක්‍රීඩිකාවෝ ඕවර 17.3 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී පහසුවෙන්ම ඉලක්කය පසුකර ගියහ.

ඇමීලියා කේර් (නොදැවී 34) සහ නායිකා සොෆී ඩේවින් (නොදැවී 13) එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 16 කදී ලකුණු 23 ක නොබිදුණු සම්බන්ධතාවක් ගොඩනගමින් නවසීලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ. පන්දු 31 කදී වාර්තා වූ ඇමීලියාගේ ඉනිම හතරේ පහර 3 කින් සමන්විත වූ අතර පන්දු 8 කදී වාර්තා වූ ඩේවින්ගේ ඉනිමට හයේ පහරක් ඇතුළත් විය.

දක්ෂ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකාරිණී ජෝජියා ප්ලිමර් පන්දු 44 කදී හ‍තරේ පහර 4 ක් සමග ලකුණු 53 ක් රැස්කරමින් නවසීලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අගනා දායකත්වයක් දැක්වූවාය. සුසී බේට්ස් (17) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 45 කදී ලකුණු 49 ක සම්බන්ධතාවක් ගොඩනගමින් නවසීලන්ත කාන්තා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දීමටද ජෝජියා සමත් වූවාය.

සුසී බේට්ස්ගේ කඩුල්ල බිඳ දැමීමට සචිනි නිසංසලා සමත් වීමත් සමග නවසීලන්ත පළමු කඩුල්ලේ සම්බන්ධතාව නිමාවට පත්විය. දක්ෂ ලෙස පන්දුවට පහරදෙමින් සිටි ජෝජියා දැවී ගියේ චමරි අතපත්තුගේ පන්දුවක් හමුවේ ඉදිරිට පැන ගැසූ පහරකින් මිඩ් විකට් කළාපටයට ඉහළින් ඇදී ගිය පන්දුව ඩීප් මි‍ඩ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි නිලක්ෂි ද සිල්වාගේ දෑත් අතර සිරවීම හේතුවෙනි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 115 ක් ලබාගත්හ. මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 100 සීමාව පසුකර ගිය පළමු අවස්ථාවද මෙය විය. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ නායිකා චමරි අතපත්තු පන්දු 41 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 35 ක් රැස්කළාය.

විෂ්මි ගුණරත්න (8) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 22 කදී ලකුණු 26 ක සම්බන්ධතාවක් ගොඩනැගූ චමරි, ඉන් නොනැවතී‍ හර්ෂිතා සමරවික්‍රම (18) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 60 කදී ලකුණු 48 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවාය. එහෙත් ඇමීලියා කේර්ගේ පන්දුවක් හමුවේ ස්වීප් පහරක් ගැසීමට යෑමේදී මඟ හැරී ගිය පන්දුව කඩුල්ලේ දැවටීම හේතුවෙන් චමරිට පිටියෙන් ඉවත්ව යෑමට සිදුවූවාය.

චමරිගේ දැවී යෑමට පෙර ඕවර 13.2 ක් අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 74 ක් ලබා ප්‍රභල තත්වයක පසුවූ ශ්‍රී ලංකා කණ්ඩායම, ඇගේ දැවී යෑමෙන් පසුව ලකුණු 115 කට සීමා විය. ඉනිමේ අවසන් පන්දු 39 දී ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 3 ක්ද අහිමි කරගනිමින් රැස්කරගත හැකි වූයේ ලකුණු 36 ක් පමණි. එහිදී ශ්‍රී ලංකා පිතිකාරිණියන් පන්දුව හතරේ සීමාවෙන් එපිටට යවා තිබූණේ අවස්ථා දෙකකදී පමණක් වීමද කැපී පෙනුණ සිදුවීමක් විය.

පිට පිටම දෙවතාවක් (ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව හමුවේ) ලකුණු නොළබා දැවී ගොස් සිටි ආරම්භක පිතිකාරිණී විෂ්මි ‍මෙම තරගයේදීත් අඩු ලකුණු සංඛ්‍යාවකට සිය කඩුල්ල විසිකර දැමූවාය. කෙමෙන් කෙමෙන් ලකුණු අතරට පැමිණෙමින් සිටි හර්ෂිතාට පිටියෙන් ඉවත්ව යෑමට සිදුවූයේ යාර තිහේ සීමාවට ඉහළින් පහරක් ගැසීමට තැත් කිරීමේදී එක්ස්ට්‍රා කවර් කළාපයේ සිට එය උඩ පන්දුවක් බවට පත්කර ගැනීමට ඇමීලියා කේර් සමත්වීම සමගිනි.

කවීෂා දිල්හාරිට (10) සහ අනුෂ්කා සංජීවනීටද (5) වැඩි වේලාවක් පිටියේ රැදී සිටීමට ඇමීලියා කේර් සහ ලී කැස්පරෙක් ඉඩ ලබා නොදුන්හ. කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වූ කවීෂා, විනිසුරු තීරණ විමසීමේ අවස්ථාවක්ද කණ්ඩායමට අහිමි කරමින් පිටියෙන් ඉවත්ව ගියයා. අනුෂ්කාගේ ඉනිම නිමාවට පත්වූයේ නායිකා සොෆී ‍ඩේවින් මිඩ් ඕෆ් කළාපයේ සිට පසුපසට දිව ගොස් රැකගත් දක්ෂ උපන්දුවක් හේතුවෙනි.  

(ඡායාරූප - අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙනි)


අදහස් (1)

නවසීලන්තයටත් පැරදුණු ශ්‍රී ලංකාව හිස් අතින් ගෙදර එයි
  • ආගන්තුකයා Sunday, 13 October 2024 01:39 PM

    සුපර්... හයියක් දැන් ඉතින් තව වෙළෙඳ දැන්වීම් දෙක තුනක් කරගෙන ඉන්න පුළුවන්...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.