Last Update  :  2025-01-16 16:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International පිලිප්ස් සටනක සීමාවට නවසීලන්තය ගෙනයයි
ශ්‍රී ලංකා - නවසීලන්ත තරගය

පිලිප්ස් සටනක සීමාවට නවසීලන්තය ගෙනයයි

editorial - 2022 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ලකුණු 11 ක් ලබා සිටියදී දුන් ඉතාම පහසු උඩපන්දුවක් අතහැරීමෙන් අනගි ප්‍රයෝජන ගත් ග්ලෙන් පිලිප්ස්, සිඩ්නි ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගයේදී කඩුලු 7 කට ලකුණු 167 ක් කරා නවසීලන්ත කණ්ඩායම කැඳවාගෙන ගියේය.

නවසීලන්ත ආරම්භය අසාර්ථක වීම හේතුවෙන් ඉනිමේ තුන්වැනි ඕවරයේදීම පිටියට පිවිසි ග්ලෙන් පිලිප්ස්, පන්දු 64 කට මුහුණ දීමෙන් පසුව ලකුණු 104 ක් ලබා අවසන් ඕවරයේදී දැවී ගියේය.

එය නවසීලන්ත පිතිකරුවකු වි-20 ලෝක කුසලාන තරගාවලියකදී ලබාගත් දෙවැනි ශතකය මෙන්ම විස්සයි-20 අන්තර්ජාතික තරගයකදී ලබාගත් දෙවැනි ශතකයකද වෙයි.

මහීෂ් තීක්‍ෂණ, ධනංජය ද සිල්වා සහ කසුන් රාජිත තිදෙනාගේ පන්දු යැවීම හමුවේ නවසීලන්තයත් ආරම්භයේදීම අමාරුවේ වැටිණ.

ප්‍රහාරාත්මක ඕවර 6 අවසන් වන වට නවසීලන්ත ලකුණු සංඛ්‍යාව වූයේ කඩුලු 3 කට ලකුණු 25 කි. හත්වැනි ඕවරයේදී ලැබුණු ඉතාම පහසූ උඩපන්දුවක් පැතුම් නිස්සංක වෙතින් ගිළිහී යන විට ග්ලෙන් පිලිප්ස් ලබා සිටියේ ලකුණු 11 කි.

එතැන් සිට පරෙස්සම් සහගත ගමනක් ඇරඹූ පිලිප්ස්, ඉනිමේ 12 වැනි ඕවරය අවසන් වන විට ලකුණු 40 ක් ලබා සිටියේය. ඒ වන විට සම්පූර්ණ නවසීලන්ත ඉනිමට ඇතුළත් වී තිබුණේත් හයේ පහරක් සහ හතරේ පහර 4 කි. එහෙත් එතැන් සිට ගිනිකෙළි සංදර්ශනය ආරම්භ විය.

අවසන් ඕවර 6 න් ලකුණු 62 ක් උදුරාගත් ග්ලෙන් පිලිප්ස් පන්දු 61 කින් සිය ශතකය සම්පූර්ණ කළේය. අවසන් ඕවර 6 දී ඔහුගේ ලකුණු ලබාගැනීම සටහන් වූයේ 17, 7, 8, 13, 7 ක් සහ 10 ක් ලෙසිනි.

අසම්මත පහර කිහිපයක් මුදාහළ ග්ලෙන් පිලිප්ස්ගේ ආක්‍රමණය හේතුවෙන් අවසන් ඕවර 8 දී ලකුණු 97 ක් නවසීලන්තයට එක්විය.



අදහස් (0)

පිලිප්ස් සටනක සීමාවට නවසීලන්තය ගෙනයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.