Last Update  :  2025-01-28 17:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International වැස්ස තරගයම ගිලගනී
තුන්වැනි එක්දින තරගය

වැස්ස තරගයම ගිලගනී

editorial - 2024 නොවැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ සිට...)

නවසීලන්තයට එරෙහිව පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගය වර්ෂාව නිසා අතහැර දමන ලදි. පස්වරු 4.00 ට පමණ පල්ලෙකැළේ ක්‍රීඩාංගණයට වර්ෂාව පැමිණෙන විට නවසීලන්ත කණ්ඩායම ඕවර 21 ක් අවසානයේදී කඩුල්ලක් දැවී ලකුණු 112 ක් ලබා සිටියේය. 

තරගය නැවත ආරම්භ කිරීමේ බලාපොරොත්තු රාත්‍රිය වන තුරුත් පැවැති නමුත් දිගින් දිගටම පැවැති වර්ෂාව හේතුවෙන් තරගය සම්පූර්ණයෙන්ම අතහැර දමන ලද බව රාත්‍රී 7.45 ට විනිසුරුවරු නිවේදනය කළහ. 

එක්දින තරගාවලියේදී පළමු තරග දෙකම ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම 2-0 ක් ලෙසින් තරගාවලිය ජයගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වසරේදී ජයගත් පස්වැනි එක්දින තරගාවලිය මෙයයි. 

පස්වරු 4.00 ට ආරම්භ වූ වර්ෂාව පස්වරු 5.20 වන විට නැවතී ක්‍රීඩාංගණයේ හතරේ සීමාවෙන් ඇතුළත තිබූ ආවරණ ඉවත් කළ අතර ක්‍රීඩාංගණය සූදානම් කරමින් පැවතිණ. පස්වරු 6.00 ට ක්‍රීඩාංගණය පරීක්‍ෂා කිරීමෙන් පසුව තරගය ආරම්භ කරන වේලාවක් පිළිබඳ තීරණය කිරීමට තිබුණ නමුත් ඊට විනාඩි 5 ක් තිබියදී නැවතත් පොද වැස්ස ඇද වැටිණ. 

ක්‍රීඩාංගණය නැවතත් සම්පූර්ණයෙන් වසා දමන ලද අතර පොද වැස්ස රාත්‍රී 7.00 වන තුරුත් නොනැවතී පැවතිණ. තණතීරු ආවරණ  ඉවත් නොකළ අතර රාත්‍රී 7.25 වන විට නැවතත් වර්ෂාව වැඩි විය. 

අද තරගයේදී වෙනස්කම් 5 ක් සමගින් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චමිඳු වික්‍රමසිංහ එක්දින හිස්වැස්ම දිනාගත්තේය. කාසියේ වාසිය දිනා පන්දුවට පහරදීම තෝරාගත් නවසීලන්ත පිලද වෙනස්කම් දෙකක් සමගින් තරගයට පිවිස සිටියේය. 

පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු සහ දුනිත් වෙල්ලාලගේ විවේක ගන්වා සිටිති. ඔවුන් වෙනුවට නුවනිඳු ප්‍රනාන්දු, නිශාන් මධුෂ්ක, චමිඳු වික්‍රමසිංහ, ඩිල්ෂාන් මධුශංක සහ මොහොමඩ් ශිරාස් කණ්ඩායම එක්ව සිටිති. 

මොහොමඩ් ශිරාස් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්ව සිටින්නේ මාස තුන හමාරකට පසුවය. 

නවසීලන්ත පිලේ වේග පන්දු යවන්නන් දෙදෙනකු වන ජේකබ් ටෆී සහ නේතන් ස්මිත් ඉවත් කරමින් ඇඩම් මිල්න් සහ සකාරි ෆෝක්ස් කැඳවා සිටිති. සකාරි ෆෝක්ස්ගේ මංගල එක්දින තරගය මෙයයි. 

 

 


අදහස් (0)

වැස්ස තරගයම ගිලගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.