Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 127 ක් එක්කළ චාමික හීනටිගල (නොදැවී 78) සහ කවීජ ගමගේ (නොදැවී 60) ජයග්‍රහණයේ පදනම දැමූහ. එතැන් සිට බංග්ලාදේශ පිතිකරුවන් පීඩනයට නතුකළ දකුණතින් පා දඟ පන්දු යවන විග්නේෂ්වරන් ආකාෂ් (35/5) සහ කිත්ම විදානපතිරණ (17/2) දෙදෙනා එක්ව, කොළඹ සී,සී.සී. පිටියේදී අද (26 වැනිදා) පැවැති යොවුන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 98 ක ජයක් කරා කැඳවාගෙන ගියහ.
බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු වැන්න මෙයයි. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මේ වනවිට 1-0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගෙන සිටී.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 241 ක් ලබාගත් අතර බංග්ලාදේශ යෞවනයන්ට ලැබුණු ඉලක්කය 242 කි. ඒ සඳහා අපේක්‍ෂිත වේගය වූයේ ඕවරයකදී ලකුණු 4.84 කි. එහෙත් විග්නේෂ්වරන් සහ කිත්ම විදානපතිරණ හමුවේ ලකුණු 51 කට කඩුලු 8 ක් අහිමිකරගත් බංග්ලාදේශ යොවුන් කණ්ඩායම ලකුණු 143 කට දැවී ගියේය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ නමුත් ලකුණු 114 කට කඩුලු 6 ක් බිඳ වැටිණ. සෙනුජ වැකුණගොඩ අර්ධ ශතකයක් ලබාගැනීමට සමත් වූ නමුත් 30 වැනි ඕවරය ආරම්භ වීමටත් මත්තෙන් 6 වැනි කඩුල්ල බිඳ වැටෙන විට ශ්‍රී ලංකා යොවුන් පිලේ ලකුණු වේගය සටහන් වූයේ 3.80 ක් ලෙසිනි
මෙම අවස්ථාවේදී චාමික හීනටිගල (පන්දු 92 කින් ලකුණු 78 ක්) සහ කවීජ ගමගේ (පන්දු 59 කින් ලකුණු 60 ක්) එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 127 ක් එක්කළේ කණ්ඩායමේ ලකුණු වේගය 5.00 ක් ආසන්නයට ගෙන එමිනි. දෙදෙනාම එක්ව ගැසූ හතරේ පහර සංඛ්‍යාව 6 කි. හයේ පහර සංඛ්‍යාව 4 කි.
බංග්ලාදේශ යොවුන් කණ්ඩායම 16 වැනි ඕවරය වන විට කඩුල්ලක් පමණක් දැවී ලකුණු 74 ක් (ඕවරයකදී ලකුණු 4.35 ක්) ලබා සිටි නමුත් ඔව්හු එතැන් සිට ඕවර 12.4 කදී, ලකුණු 51 කට කඩුලු 8 ක් අහිමි කරගත්හ. එම කඩුලු 8 න් 5 ක් පා දඟ පන්දු යවන්නා වන විග්නේෂ්වරන් ආකාෂ් ෂතුවූ අතර තවත් දෙකක් කිත්ම විදානපතිරණ විසින් දවාගන්නා ලදි.
යාපනය හාට්ලි විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවසි විග්නේෂ්වරන් ආකාෂ්ගේ පන්දු යැවීම වටහාගැනීම ඉතාමත් අසීරු බව පුහුණුකරුවොත් පවසති. සම්මත ආකාරයේ දකුණත් පා දඟ පන්දුව මෙන්ම ගුග්ලි පන්දුවත් ඉතාම හොඳින් යවන විග්නේෂ්වරන්ගේ ඇතැම් පන්දු කඩුලු රකින්නාටවත් වටහාගත නොහැකි බවත් පුහුණුකරුවෝම කියති.
පසුගිය වසරේ අග භාගයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කළ බංග්ලාදේශ 17 න් පහළ කණ්ඩායමට එරෙහිවද විග්නේෂ්වරන් ලකුණු 27 කට කඩුලු 5 ක් දවාගත්තේ ඕවරයකදී ලකුණු 3.5 ක් පමණක් ලබාගැනීමට අවසර දෙමිනි.
ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ යොවුන් කණ්ඩායම් අතර දෙවැනි එක්දින තරගය 8 වැනිදා කොළඹ සී.සී.සී. පිටියේදීම පැවැත්වෙයි.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 6 ට 241 යි
(සෙණුජ වැකුණගොඩ 50, විමත් දින්සර 19, චාමික හීනැටිගල නොදැවී 78, දිනුර දම්සෙත් 11, කවිජ ගමගේ නොදැවී 60, ඉක්බාල් හොසේන් 46/2, රිසාන් හොසේන් 29/2)
බංග්ලාදේශ යොවුන් කණ්ඩායම - ඕවර 33.3 කදී සියලු දෙනා දැවී 143 යි
(සවාඩ් අබ්රාර් 14, කලාම් සිද්දික් 46, අසිසුල් හකීම් 24, මොහොමඩ් අබ්දුල්ලා 17, අල් ෆහාඩ් නොදැවී 12, කුගදාස් මාතුලන් 30/2, විග්නේෂ්වරන් ආකාශ් 35/5, කිත්ම විදානපතිරණ 17/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.