Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට
වි-20 ලෝක කුසලාන 2024

ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට

editorial - 2024 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ලෝඩර්හිල් නුවර සිට..)

බංග්ලාදේශය සහ නෙදර්ලන්තය අතර පැවැති ‘ඩී’ කාණ්ඩයේ තරගයෙන් ලකුණු 25 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය සමත්වීමත් සමග ශ්‍රී ලංකාවට මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියෙන් නිල වශයෙන් ඉවත්වීමට සිදුවිය.

යම් හෙයකින් බංග්ලාදේශ - නෙදර්ලන්ත තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුවා නම් ශ්‍රී ලංකාවට තවදුරටත් සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීම සඳහා ඉතා සියුම් අවස්ථාවක් පැවතිණ. කෙසේ වුවත් එම තරගය විසඳුමක් සහිතව අවසන් වීමත් සමග ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තුවත් සුන් වී ගි‍යේය.

ඒ අනුව ‍එළබෙන 16 වැනි ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර ශාන්ත ලුසියාහිදී පැවැත්වෙන තරගය ශ්‍රී ලංකාවට ප්‍රදර්ශන තරගයක් පමණක් වනු ඇත. කෙසේ වුවත් එහිදී ශ්‍රී ලංකාව පරාජය කිරීමට නෙදර්ලන්තය සමත් වුවහොත් ඔවුන්ට ශුද්ධ ලකුණු වේගය අනුව සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමේ අවස්ථාවක් උදාකරගත හැකි වනු ඇත.

තරගාවලියට සහභාගි වූ කණ්ඩායම් 20 න් කණ්ඩායම් 6 ක් මේ වන විට තරගාවලියෙන් ඉවතට විසිවී ඇති අතර ශ්‍රී ලංකාව සහ නවසීලන්තය ඒ අතර පසුවන ප්‍රබල කණ්ඩායම් දෙකක් ලෙස හැදින්විය හැකිය. ඕමානය, නැමීබියාව, උගණ්ඩාව සහ පැපුවා නිව්ගිණියාව ‍තරගාවලියෙන් ඉවත් වූ සෙසු කණ්ඩායම් 4 වේ.

 ‘ඒ’ කාණ්ඩයෙන් ඉන්දියාවද, ‘බී’ කාණ්ඩයෙන් ඕස්ට්‍රේලියාවද, ‘සී’ කාණ්ඩයෙන් ඇෆ්ඝනිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් පිලද, ‘ඩී’ කාණ්ඩයෙන් දකුණු අප්‍රිකාවද මේ වන විට තරගාවලියේ සුපිරි 8 දෙනා‍ගේ වටයේ ස්ථාන වෙන්කරවාගෙන සිටියි.

ඒ අනුව සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීම සඳහා තවත් කණ්ඩායම් 3 කට අවස්ථාව පවති. ඒ සඳහා ‘ඒ’ කාණ්ඩයෙන් ඇමරිකා එක්සත් ජනපදය සහ පාකිස්ථානයද, ‘බී’ කාණ්ඩයෙන් එංගලන්තය සහ ස්කොට්ලන්තයද, ‘ඩී’ කාණ්ඩයෙන් බංග්ලාදේශය සහ නෙදර්ලන්තයද කරට කර සටනක නිරතව සිටියි.

‘ඒ’ කාණ්ඩය ගත් කළ ඇමරිකාවට සහ පාකිස්තානයට අයර්ලන්තයට එරෙහිව තරගය බැගින් ක්‍රීඩා කිරීමට ඉතිරිව තිබේ. ඇමරිකාව එම තරගය ජයගත හොත් ඔවුන් නිසැකවම සුපිරි 8 දෙනාගේ වටයට පිවිසෙනු ඇත. පාකිස්තානයට සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීම සඳහා අයර්ලන්ත තරගය ජයගැනීම පමණක් ප්‍රමාණවත් නොවන අතර අයර්ලන්තය හමුවේ ඇමරිකාව පරාජය වන තුරු බලා සිටීමටද සිදුවනු ඇත.

 

‘බී’ කාණ්ඩය ගත් කළ ස්කොට්ලන්තයට ඕස්ට්‍රේලියාවටද එරෙහිවද, එංගලන්තයට නැමීබියාවට එරෙහිවද තරගය බැගින් ඉතිරිව තිබේ. ස්කොට්ලන්තය එම තරගය ජයගත හොත් ඔවුන් අනිවාර්යෙන්ම සුපිරි 8 දෙනාගේ වටයට පිවිසෙනු ඇත. ස්කොට්ලන්තය එම තරගය පරාජය වී නැමීබියාව පරාජය කිරීමට එංගලන්තය සමත් වුවහොත් එංගලන්තයට සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමේ වරම් හිමිවනු ඇත.

‘ඩී’ කාණ්ඩයේ බංග්ලාදේශය සහ නෙදර්ලන්තය අතර ඇත්තේද එවැනිම සටනකි. ඉතිරිව ඇති තරගවලදී නේපාලය පරාජය කිරීමට බංග්ලාදේශය සමත් වුවහොත් ඔවුන් නිසැකවම සුපිරි 8 දෙනාගේ වටයට පිවිසෙනු ඇත. එහෙත් එම තරගයේදී බංග්ලාදේශය පරාජයට පත්වී ශ්‍රී ලංකාවට එරෙහිව ඇති තරගය ජයගැනීමට නෙදර්ලන්තය සමත් වුව‍හොත් ශුද්ධ ලකුණු වේගය නෙදර්ලන්තයටද සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමට අවස්ථාව හිමිවනු ඇත.


අදහස් (0)

ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.