Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
මේ මස 18 වැනිදා සිට මැලේසියාවේදී පැවැත්වෙන 19 න් පහළ බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරාගන්නා ලද ශ්‍රී ලංකා කණ්ඩායමට රත්ගම දේවපතිරාජ විද්‍යාලයෙන් ක්‍රීඩිකාවෝ හය දෙනෙක් ඇතුළත්ව සිටිති. එම විද්‍යාලයේම නෙතඟි ඉසුරාංජලී ද ලෝක කුසලාන සංචිතයේ අතිරේක ක්‍රීඩිකාවක් ලෙසින් තෝරාගනු ලැබ ඇත.
ශ්‍රී ලංකා බාලිකා ලෝක කුසලාන කණ්ඩායමේ නායිකාව වශයෙන් මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ මනුදි නානායක්කාර කටයුතු කරන්නීය. ඇයගේ උප නායිකාව ලෙසින් මාතර අනුර විද්‍යාලයේ රශ්මිකා සෙව්වන්දි තෝරාගනු ලැබ ඇත.
කොළඹින් ඉතාම දුර බැහැර පිහිටි පාසල් වලින් පැමිණි විමෝක්‍ෂා බාලසූරිය (ත්‍රිකුණාමලය සිංහල මහා විද්‍යාලය), ප්‍රමුදි මෙත්සරා (උහන මධ්‍ය මහා විද්‍යාලය) සහ චමෝදි ප්‍රබෝදා (මොනරාගල ප්‍රඥානන්ද මහා විද්‍යාලය) යන තිදෙනාත් ලෝක කුසලාන කණ්ඩායමට එක්ව සිටිති.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු නායකයකු වන තිලකරත්න ඩිල්ෂාන් මහතාගේ දියණිය වන 16 හැවිරිදි ලිමන්සා තිලකරත්නද ලෝක කුසලාන සංචිතයට ඇතුළත්ව සිටින්නීය. ඇය දකුණතින් පා දඟ පන්දු යවන්නියක් වන අතර වමත් පිතිකාරිණයක ලෙසින් යොවුන් අන්තර්ජාතික තරග 4 කට සහභාගි වී තිබේ.
වසර 2011 දී කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ ක්‍රීඩිකාවෝ එකල ක්‍රීඩා කළේ සැහැල්ලු (ටෙනිස්) පන්දු වලිනි. පසුව ලෙදර් පන්දු ක්‍රීඩාවට පිවිසි දේවපතිරාජ ක්‍රීඩිකාවන්ගේ මුල්ම පුහුණුකරුවා වූ මහේෂ් සඳරුවන් මහතා අද වන තුරුත් විද්‍යාලයීය බාලිකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවා ලෙසින් කටයුතු කරයි.
තවත් සතියකින් ආරම්භ වන ලෝක කුසලාන තරග බිමට යන රත්ගම ක්‍රීඩිකාවන් හය දෙනාට අමතරව, තවත් දේවපතිරාජ ක්‍රීඩිකාවෝ පස් දෙනෙක් ශ්‍රී ලංකාවේ ජාතික කාන්තා කණ්ඩායම නියෝජනය කළහ. සත්‍යා සංදීපනී, උමේෂා මැටිවලගේ, කවීෂා දිල්හාරි, ඉමේෂා දුලානි සහ කාව්‍යා කාවින්දි එම ක්‍රීඩිකාවෝ වෙති.
වත්මන් යොවුන් කණ්ඩායමේ සිටින 16 හැවිරිදි ශෂිනි ගිම්හානි, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියෝජනය කළ ලාබාළතම ක්‍රීඩිකාවයි. පසුගිය වසරේ මැයි මාසයේදී ඩුබායි නුවරදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පිටියට පිවිසෙන විට ශෂිනිගේ වයස අවුරුදු 15 කි. ඇය වමතින් දඟ පන්දු යවන්නියකි.
19 න් පහළ බලිකා ලෝක කුසලන තරගාවලියට කණ්ඩායම් 16 ක් සහභාගි වෙති. මෙම කණ්ඩායම් කාණ්ඩ 4 කින් තරග කිරීමෙන් පසුව දෙවැනි වටයට පිවිසෙන අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඇතුළත් ‘ඒ’ කාණ්ඩයට ඉන්දියාව, මැලේසියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ඇතුළත් වෙති.
ශ්‍රී ලංකා යොවුන් බාලිකා කණ්ඩායමේ තරග කාල සටහන
■ ජනවාරි 19 - ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර
■ ජනවාරි 21 - ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර
■ ජනවාරි 23 - ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර
ශ්‍රී ලංකා යොවුන් බාලිකා කණ්ඩායම :
මනුදි නානායක්කාර (නායිකාව - මොරටුව වේල්ස් කුමරි විද්‍යාලය), රශ්මිකා සෙව්වන්දි (උප නායිකාව - මාතර අනුර විද්‍යාලය), විමෝක්‍ෂා බාලසූරිය (ත්‍රිකුණාමලය සිංහල මහා විද්‍යාලය), හිරුණි හංසිකා (රත්ගම දේවපතිරාජ විද්‍යාලය), සුමුදු නිසංසලා (රත්ගම දේවපතිරාජ විද්‍යාලය), දැහැමි සෙනුත්මා (නුගේගොඩ අනුලා විද්‍යාලය), රශ්මි නේත්‍රාංජලී (රත්ගම දේවපතිරාජ විද්‍යාලය), ශෂිනි ගිම්හානි (රත්ගම දේවපතිරාජ විද්‍යාලය), අශේනි තලගුණේ (මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය), ප්‍රමුදි මෙත්සරා (උහන මධ්‍ය මහා විද්‍යාලය), චමෝදි ප්‍රබෝදා (මොනරාගල ප්‍රඥානන්ද මහා විද්‍යාලය), සංජනා කාවින්දි (රත්ගම දේවපතිරාජ විද්‍යාලය), දනුලි තෙන්නකෝන් (කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය), ෂෙහාරා ඉඳුවරී (රත්ගම දේවපතිරාජ විද්‍යාලය) සහ ලිමන්සා තිලකරත්න
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.