Last Update  :  2024-10-18 11:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකා - නේපාල තරගයේ ජය වර්ෂාවට ?
විස්සයි-20 ලෝක කුසලාන - 2024

ශ්‍රී ලංකා - නේපාල තරගයේ ජය වර්ෂාවට ?

editorial - 2024 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

(ශානුක අරවින්ද ලෝඩර්හිල් නුවර සෙන්ට්‍රල් බ්‍රෝවඩ් ප්‍රාදේශීය ක්‍රීඩාංගණයේ සිට..)

දකුණු අප්‍රිකාව හමුවේ බංග්ලාදේශය පරාජය වීමත් සමග තව දුරටත් සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු රඳවාගත් ශ්‍රී ලංකා කණ්ඩායම, හෙට (12 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් අළුයම 5.00 ට ලෝඩර්හිල් නුවර සෙන්ට්‍රල් බ්‍රෝවඩ් ප්‍රාදේශීය ක්‍රීඩාංගණයේදී නේපාලයට එරෙහිව තරග බි‍මට පිවිසෙනු ඇත.

කෙසේ වුවත් මූලික වටයේදී සහභාගි වූ මුල් තරග දෙක පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීම සඳහා මෙම තරගය පමණක් නොව එළබෙන 16 වැනිදා නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයද ඉහළ ශුද්ධ ලකුණු වේගයක් රඳවාගනිමින් ජයගැනීමට සිදුව තිබේ.

එපමණක් නොව අනිද්දා (13 වැනිදා) බංග්ලාදේශය සහ නෙදර්ලන්තය අතර පැවැත්වෙන තරගයෙන් නෙදර්ලන්තය ජයගතු යුතු වන අතර නේපාලය ඔවුන් සහභාගි වන සියලුම තරග පරාජයට පත්විය යුතුය. එසේ වුවහොත් ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ‍නෙදර්ලන්තය අතරින් ඉහළම ශුද්ධ ලකුණු වේගයට හිමිකම් කියන කණ්ඩායම දකුණු අප්‍රිකාව සමග ‘ඩි’ කාණ්ඩයෙන් සුපිරි 8 දෙනාගේ වටයට පිවිසෙනු ඇත.

ඩලස් නුවර සිට ලෝඩරහිල් නුවර වෙත පැමිණීමෙන් අනතරුව ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු සැසි දෙකකට සහභාගි වූ අතර ඊයේ (10 වැනිදා) පැවැති දෙවැනි පුහුණු සැසියට වර්ෂාවෙන් බාධා එල්ල වූ අයුරු දැකගත හැකි විය. කාලගුණ වාර්තාවලට අනුව හෙට දිනයේදීද ක්‍රීඩාංගණය අවට ප්‍රදේශ කිහිපයකටම වැසි ඇද හැළීමට නියමිත බැවින් තරගයටද වාර්ෂාවෙන් බාධා එල්ල වනු ඇතැයි බලාපොරාත්තු විය හැකිය.

මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සැලකිය යුතු වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇතැයි වාර්තා වන අතර එහිදී තුන් ඉරියව් ක්‍රීඩකයකු වෙනුවට තවත් වේග පන්දු යවන්නකු කණ්ඩායමට කැඳ‍වීම කෙරෙහි වැඩි අවධානයක් යොමුව තිබේ. ඒ අනුව අද තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් හෝ දසුන් ශානක වෙනුවට දුෂ්මන්ත චමීර හෝ ඩිල්ෂාන් මධුෂංක කණ්ඩායමට එක්වීමට නියමිතය.

මුල් තරග දෙකේදීම එක් කඩුල්ලක් හෝ දවාගැනීමට අපොහොසත් වූ මහීෂ් තීක්ෂණගේ ස්ථානයද මේ වන විට දැඩි අවධානමකට ලක්ව ඇති අතර දෙවැනි තරගයේදී ඉතා මන්දගාමී ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වාට තවත් අවස්ථාවක් ලබාදීම කෙරෙහිද කණ්ඩායම් කලමණාකාරීත්වයේ අවධානය යොමු වී තිබේ.

සෙන්ට්‍රල් බ්‍රෝවඩ් ප්‍රාදේශීය ක්‍රීඩාංගණයේදී පුහුණු තරග දෙකක් ක්‍රීඩා කර තිබුණද, එහි තණතීරුවල හැසිරීම එකිනෙකට වෙනස් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු අකීබ් ‍ජ‍ාවෙද් මහතා පැවසීය. ඔහු ඒ බව කියා සිටියේ තරගයට පෙර දිනයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

“නිව්යෝක් ක්‍රීඩාංගණයෙදි පළමු තරගයට ක්‍රීඩා කළෙත් ශ්‍රී ලංකාව. මේ ක්‍රීඩාංගණ‍යෙදි පළමු තරගයට ක්‍රීඩා කරන්නෙත් ශ්‍රී ලංකාව. මම හිතන්නේ නෑ වෙනත් කණ්ඩායම්වලට මේ වගේ දේකම මුහුණ දෙන්න සිදුවෙන්න ඇති කියලා. මොකද මේ ක්‍රීඩාංගණ දෙකම අපිට අලුත් ඒවා. ඉතින් තරග තුළදී තමයි අපේ ක්‍රීඩකයන්ට ඒ තණතීරුවලට අනුව හැඩගැහෙන්න වෙන්නෙ.”

“මේ ක්‍රීඩාංගණයෙදි පුහුණු තරග ක්‍රීඩා කළා කියලා අපිට ‍ලොකු වාසියක් තියෙයි කියලා මම හිතන්නෙ නෑ. මොකද පුහුණු තරගවලට භාවිතා කරපු තණතීරු නෙමෙයි ජාත්‍යන්තර තරගවලට භාවිතා කරන්නෙ. ඒවයෙ හැසිරීම එකකට එකක් වෙනස්. හැබැයි අපේ පන්දු යවන්නො ගැන මට ලොකු විශ්වාසයක් තියනවා. එයාලට පුළුවන් ඕනම තණතීරුවකට ගැලපෙන විධියට අනුගත වෙන්න.” යැයි ජාවෙද් මහතා කියා සිටියේය.

යම් හෙයකින් මෙම තරගය වැස්සට සේදි ගියහොත් ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීම කෙරෙහි තබා තිබූ බලාපොරොත්තු සියල්ල සුන් වී යන අතර නෙදර්ලන්තයට එරෙහිව ඔවුන්ගේ මීළඟ තරගය හුදෙක් ප්‍රදර්ශන තරගයක් බවට පත්වනු ඇත.


අදහස් (3)

ශ්‍රී ලංකා - නේපාල තරගයේ ජය වර්ෂාවට ?
  • Ran Tuesday, 11 June 2024 05:49 PM

    මහජන මනාප මඟින් cricket නායකයා සහ කණ්ඩායම තෝරන්න...

    Reply 0       0

    kotiya Wednesday, 12 June 2024 05:35 AM

    ඇමෙරිකාව කියන්නේ හොඳ රටක්... වර්ල්ඩ් කප් එකක් ගහන්න ගියා කියලා ආයි ලංකාවට එන්නම ඕනෑයෑ... විකාර...!

    Reply 0       0

    Mi Wednesday, 12 June 2024 08:35 AM

    ලංකාව දිනුම්..!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.