Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International 2007 - පස මිතුරන්ගේ සටනේ ජය ඉන්දියාවට
වි-20 ලෝක කුසලාන ඉතිහාසය

2007 - පස මිතුරන්ගේ සටනේ ජය ඉන්දියාවට

editorial - 2024 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් 2003 වසරේදී විස්සයි-20 තරග රටාව ක්‍රිකට් ක්‍රීඩාවට හදුන්වා දුන්නද, එතැන් පටන් කාන්තා විස්සයි-20 ජාත්‍යන්තර තරගයක් පැවැත්වීම සඳහා තවත් වසරක්ද, පිරිමි විස්සයි-20 ජාත්‍යන්තර තරගයක් පැවැත්වීම සඳහා වසර 2 ක්ද ගතවිය. 

2004 වසරේ අගෝස්තු මාසයේදී එංගලන්ත කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පළමු ජාත්‍යන්තර විස්සයි-20 තරගය පැවැති ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර පළමු පිරිමි විස්සයි-20 ජාත්‍යන්තර තරගය පැවැතියේ 2005 වසරේ පෙබරවාරි මස 17 වැනිදා ඕක්ලන්ඞ්හි ඊඞ්න් උද්‍යාන ක්‍රීඩාංගණයේදීය. 

කෙසේ වුවත් පළමු වරට විස්සයි-20 තරග රටාව සඳහා ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පියවර ගත්තේ 2007 වසරේදීය. කණ්ඩායම් 12 ක සහභාගීත්වයෙන් පැවැති එම තරගාවලිය දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්, ඩර්බන් සහ ජොහැන්නස්බර්ග් යන නගර වලදී පැවැත්විණ. 

මූලික වටයේ තරග 12 ක් සහ සුපිරි 8 දෙනාගේ තරග 12 ක් අවසානයේ නවසීලන්තය, පාකිස්තානය, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ. එහිදී නවසීලන්තයට එරෙහිව කඩුලු 8 ක ජයක් වාර්තා කරමින් පාකිස්තානයද, ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 15 ක ජයක් වාර්තා කරමින් ඉන්දියාවද අවසන් තරගයේ ස්ථාන වෙන්කරවා ගත්හ. 

හුදෙක් රටවල් දෙකක් අතර පමණක් නොව ජාතීන් දෙකක් අතර පස මිතුරන්ගේ තරගයක් බවට පත්වූ එම තරගය අවසන් මොහොත දක්වාම ඉතා තියුණු මුහුණුවරක් ගත්තේය. වරින් වර දෙපසටම දෝලනය වූ තරගයේ ජයග්‍රහණය අවසන් මොහෝතේ තමන් සතුකර ගැනීමට ඉන්දියාව සමත් වූයේ ජයග්‍රහණය සඳහා පාකිස්තානය ලකුණු 5 ක් පසුපසින් සිටියදීය. 

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් ඉන්දියාව ලබාගත් ලකුණු 157 හඹායමින් සිටි පාකිස්තානය ඕවර 19.2 ක් අවසානයේ ලකුණු 152 ක් ලබා සිටි අතර ඒ වන විට මිස්බා උල්හක්, පන්දු 37 කදී හයේ පහර 4 ක් සමග ලකුණු 43 ක් ලබා සිටි ඉතා දක්ෂ ලෙස සිය කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන යමින් සිටියේය.
 
කෙසේ වුවත් ජොගින්දර් ශර්මාගේ පන්දුවක් හමුවේ පා ඉන්න නිරාවණය වන සේ පිට ඉන්න දෙසට යමින් මිස්බා එල්ල කළ ස්කූප් පහරින් ඉහළ ගිය පන්දුව ෂෝට් ෆයින් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි ශ්‍රීෂාන්ත්ගේ දෑත් අතර සිරවීමත් සමග පාකිස්තනයේ ලෝක කුසලාන හීනය බොඳවී ගියේය. 

මහේල ජයවර්ධනයේ නායකත්වය යටතේ මෙම තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේදී සිම්බාබ්වේ සහ නවසීලන්ත කණ්ඩායම්වලට එරෙහිව ජයග්‍රහණ වාර්තා කළ නමුත්, සුපිරි 8 දෙනාගේ වටයේදී පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව හමුවේ පරාජය වීම හේතුවෙන් අවසන් පූර්ව වටයට පිවීසීමට අපොහොසත් විය. 

- (සටහන - ශානුක අරවින්ද)


අදහස් (0)

2007 - පස මිතුරන්ගේ සටනේ ජය ඉන්දියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.