Last Update  :  2025-01-15 11:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International 2012 - කොදෙව්වෝ ගෙදරට පැන කුසලානය සොරාගනිති
විස්සයි-20 ලෝක කුසලාන ඉතිහාසය

2012 - කොදෙව්වෝ ගෙදරට පැන කුසලානය සොරාගනිති

editorial - 2024 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් 2012 වසරේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සිවුවැනි අදියර ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව්වන් සමත් වූයේ අවසන් තරගයේදී ශ්‍රී ලංකාවම පරාජය කරමින් වීම සුවිශේෂී සිදුවීමක් බවට පත් විය. 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී කණ්ඩායම් 16 ක සහභාගීත්වයෙන් පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරයන් සහ අනු ශූරයන් බවට පත්වෙමින් අයර්ලන්තය සහ ඇෆ්ඝනිස්ථානය මෙම තරගාවලියට එක්වීමට අවස්ථාව උදාකරගත් අතර ඒ වන විට ටෙස්ට් වරම් ලබා සිටි රටවල් 10 ඍජුවම තරගාවලියට සුදුසුකම් ලබා සිටියේය. 

කොළඹ ආර්. ප්‍රේමදාස, සූරියවැව මහින්ද රාජපක්ෂ සහ පල්ලෙකැලේ යන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවලදී පැවැති මෙම තරගාවලියටද තරග 27 ක් ඇතුළත් විය. මූලික වටය සහ සුපිරි 8 දෙනාගේ වටය අවසානයේ ශ්‍රී ලංකා, පාකිස්තාන, බටහිර ඉන්දීය කොදෙව් සහ ඕස්ටේ්‍රලියා කණ්ඩායම් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. 

2007 වසරේ අනු ශූරයන් සහ 2009 වසරේ අනු ශූරයන් බවට පත්ව සිටි පාකිස්තානය පළමු අවසන් පූර්ව තරගයේදී ලකුණු 16 කින් පරාජය කළ ශ්‍රී ලංකාව කල් වේලා ඇතිවම අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කරවා ගත්තේය. දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඕස්ටේ්‍රලියාවට එරෙහිව ලකුණු 74 ක ජයක් ලබමින් කොදෙව්වෝ අවසන් තරගයට අවතීර්ණ වූහ. 

අවසන් තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව්වන් ඕවර 20 අවසානයේ ලකුණු 137 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවද, එහිදී ලසිත් මාලිංග දැඩි ප්‍රහාරයකට ලක් විය. මාලිංගගේ ඕවර 4 තුළදී ලකුණු 54 ක් උදුරා ගැනීමට කොදෙව් පිතිකරුවන් සමත් වෙද්දී, වේගවත් පිතිහරඹයක නිරත වූ මාලන් සැමුවෙල්ස් පන්දු 56 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 78 ක් රැස්කළේය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 138 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම, සුනිල් නරේන් සහ නායක ඩැරන් සැමී ප්‍රමුඛ කොදෙව් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 18.4 ක් අවසානයේ ලකුණු 101 කට සීමා විය. ඕසටේ්‍රලියානු තුන් ඉරියව් ක්‍රීඩක ෂේන් වොට්සන් අර්ධ ශතක 3 ක් සමග ලකුණු 249 ක් රැස්කරමින් සහ කඩුලු 11 ක් දවාගනිමින් තරගාවලියේ වීරයා බවට පත් විය. අජන්ත මෙන්ඩිස් කඩුලු 15 ක් දවාගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත් විය.  

සටහන - ශානුක අරවින්ද 


අදහස් (0)

2012 - කොදෙව්වෝ ගෙදරට පැන කුසලානය සොරාගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.