Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International 2014 - සිංහයෝ ජයපැන් බොති
විස්සයි-20 ලෝක කුසලාන ඉතිහාසය

2014 - සිංහයෝ ජයපැන් බොති

editorial - 2024 මැයි මස 29 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

2009 වසරේදී පාකිස්තානයත්, 2012 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් පිලත් හමුවේ අවසන් මහ තරගවලදී පරාජයට පත්වීම හේතුවෙන් අනු ශූරතා දෙකකින් සෑහීමකට පත්ව සිටි ශ්‍රී ලංකාව, විස්සයි-20 ලෝක කුසලානයක පහස විඳගත්තේ 2014 වසරේදීය. 

පෙර පැවැති ලෝක කුසලාන තරගාවලීන්ට වඩා වෙනස් ආකෘතියක් ගත් මෙම තරගාවලිය කණ්ඩායම් 16 ක සහභාගීත්වයෙන් බංග්ලාදේශයේ සත්කාරකත්වය යටතේ පැවැති අතර ඩකා, සිල්හෙට් සහ චිතගෝන් යන නගරවලදී පැවැති මෙම තරගාවලිය තරග 35 කින් සමන්විත විය. 

එවකට අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය ලබා සිටි රටවල් 10 ට අමතරව අයර්ලන්තය, ඇෆ්ඝනිස්ථානය, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නෙදර්ලන්තය සහ හොං කොං දේශයද රටවල් 16 ක් අතරින් මෙම තරගාවලියට සහභාගී වීම සඳහා සුදුසුකම් ලබාගත්තේය. 

තරගාවලියේ මූලික වටය ‘ඒ’ සහ ‘බී’ ලෙස කණ්ඩායම් 4 බැගින් වූ කාණ්ඩ 2 ක් යටතේ පැවැති අතර ‘ඒ’ කාණ්ඩයෙන් බංග්ලාදේශයද, ‘බී’ කාණ්ඩයෙන් නෙදර්ලන්තයද සුපිරි 10 දෙනාගේ වටයට පිවිසීමට සමත් විය. සුපිරි 10 දෙනාගේ වටයේදී කණ්ඩායම් 5 බැගින් කාණ්ඩ දෙකක් යටතේ තරග වැදිණ.

සුපිරි 10 දෙනාගේ වටය අවසානයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව පළමු කාණ්ඩයෙන්ද, ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල දෙවැනි කාණ්ඩයෙන්ද තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. 2012 අවසන් මහ තරගයේදී කොදෙව්වන් හමුවේ ලද පරාජයේ වාඩුව මෙම තරගාවලියේදී ගත් ශ්‍රී ලංකාව, ලකුණු 27 කින් කොදෙව්වන් පරාජය කරමින් අවසන් තරගයට පිවිසියේය. 

දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයද තියුණු මුහුණුවරක් ගත් අතර අවසානයේ ඉන් කඩුලු 6 ක් ලැබූ ඉන්දියාව, අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් බවට පත්විය. නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් තරග 2 ක තහනමකට ලක්ව සිටීම හේතුවෙන් අවසන් පූර්ව තරගයේදී මෙන්ම අවසන් මහ තරගයේදීද ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ලසිත් මාලිංග විසිනි.

නුවන් කුලසේකරගේ සහ ලසිත් මාලිංගගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ අවසන් මහ තරගයේදී ඉන්දියානුවන් ලකුණු 130 කට සීමා කළ ශ්‍රී ලංකාව, ඕවර 17.5 ක් තුළ එම ඉලක්කය පසුකර යමින් පළමු විස්සයි-20 ලෝක ශූරතාවට හිමිකම් කීවේය. පන්දු 35 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 52 ක් රැස්කළ කුමාර් සංගක්කාර තරගයේ වීරයා බවට පත් විය. 

(සටහන - ශානුක අරවින්ද) 


අදහස් (1)

2014 - සිංහයෝ ජයපැන් බොති
  • Janahitha Sunday, 09 June 2024 03:37 PM

    සිංහයෝ කිසිදිනෙක ජයපැන් නොබොන අතර බඩගිනි විටදී සතෙකු අල්ලගෙන මරා කයි. සතුන් ගොඩක් හිටියත් අවශ්‍ය කෙනෙක් පමණක් මරාගෙන කන අතර කිසිදිනෙක තණකොළ නොකයි. වෙනත් කිසිම වැඩක් නොකරන අතර, නිදා ගැනීමට රුචියක් දක්වයි. ලංකාවේ මිනිසුන් මෙන් තම වර්ගයාගේ කකුලෙන් නොඅදින සිංහයා සමහර විට කුළු හරකාටද පරාජය වෙන අවස්ථා එමටය. කිසි දිනෙක පුවත්පත් නොබලයි. කණ්ණඩි නොදමයි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.