Last Update  :  2025-01-24 19:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International අභිෂේක් ෂර්මා එංගලන්තය දණ ගස්වයි
1 වැනි විස්සයි-20 තරගය

අභිෂේක් ෂර්මා එංගලන්තය දණ ගස්වයි

editorial - 2025 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අභිෂේක් ෂර්මාගේ අනුකම්පා විරහිත පිතිහරඹයෙන් සවිමත් වූ ඉන්දියානුවෝ, කොල්කටා නුවර ඊඩ්න් ගාර්ඩ්න් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 තරගයේදී එංගලන්ත කණ්ඩායම කඩුලු 7 ක පරාජයක් කරා තල්ලු කර දැමූහ. පන්දු 43 ක් ඉතිරිව තිබියදී ලබාගත් මෙම ජයග්‍රහණය, නිසා තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේදී 1-0 ක් ලෙසින් ඉන්දියානුවෝ පෙරමුණ ගෙන සිටිති. 

ඉන්දියානුවන් හමුවේ තිබූ ලකුණු 133 ක ඉලක්කය පහසු එකක් යයි කිව නොහැකි වූවත් අභිෂේක් ෂර්මා පන්දු 34 කින් ලබාගත් ලකුණු 79 හේතුවෙන් එය පහසු ඉලක්කයක් බවට පත්විය. අභිෂේක්ගේ තුන්වැනි විස්සයි-20 අර්ධ ශතකය හයේ පහර 8 කින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය. 

සංජු සැම්සන් (26) සහ නායක සූර්යකුමාර් යාදව් (0) පිට පිටම පන්දු දෙකකදී දැවී ගිය නමුත් අභිෂේක් සහ තිලක් වර්මාගේ ප්‍රහාරය නිසා ඉන්දියානුවෝ පහසුවෙන්ම ඉලක්කය පසුකර ගියහ. 

‘බස්බෝල් ක්‍රිකට්’ ක්‍රීඩාව එංගලන්තයට හඳුන්වාදුන් පුහුණුකරු බ්‍රෙන්ඩන් මැකලම් විස්සයි-20 තරගයක් සඳහා එංගලන්ත පිලේ වගකීම බාරගත් පළමු තරගයද මෙයයි. එහෙත් එංගලන්තයට අත්වූයේ ඛේදජනක පරාජයකි. 

වේග පන්දු යවන්නන් වූ අර්ශ්දීප් සිං සහ හාර්දික් පාණ්ඩ්‍යා කඩුලු 2 ක් බැගින් බෙදාගැනීමෙන් පසුව දඟ පන්දු යවන්නන් වූ වරුන් චක්‍රවර්ති (23/3) සහ අක්ෂර් පතෙල් (22/2) වැඩ ඇල්ලූහ. ජොස් බට්ලර්ගේ (පන්දු 44 කින් ලකුණු 68) හුදෙකළා සටන නොවූයේ නම් එංගලන්ත ලකුණු පුවරුව දුරකතන අංකයක් හා සමාන වන්නට තිබිණ. 17 වැනි ඕවරයේදී බට්ලර් දැවී යන විට පුවරුවේ සටහන්ව තිබූ ලකුණු 109 න්, 68 ක්ම බට්ලර්ගේ පිත්තෙන් පැමිණි ඒවා විය. 

අභිෂේක් ෂර්මා පන්දු 16 කින් ලකුණු 29 ක් ලබා සිටියදී ඔහුගේ පහසු උඩපන්දුවක් අදිල් රෂීඩ් විසින් අතහරින ලදි. එහෙත් පසුපස නොබැලූ දකුණත් පිතිකරුවා සිය 20 වැනි පන්දුවේදී අර්ධ ශතකය සම්පූර්ණ කළේය. 


එංගලන්තය - ඕවර 20 කදී 132 යි
(ජොස් බට්ලර් 68, හැරී බෲක් 17, ජොෆ්රා ආචර් 12, අර්ශ්දීප් සිං 17/2, හර්දික් පාණ්ඩ්‍යා 42/2, වරූන් චක්‍රවර්ති 23/3, අක්ෂර් පතෙල් 22/2)

ඉන්දියාව - ඕවර 12.5 කදී කඩුලු 3 ට 133 
(සංජු සැම්සන් 26, අභිෂේක් ෂර්මා 79, තිලක් වර්මා නොදැවී 19, ජොෆ්රා ආචර් 21/2)

- 213


අදහස් (0)

අභිෂේක් ෂර්මා එංගලන්තය දණ ගස්වයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.