Last Update  :  2024-09-19 19:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඉන්දියානුවෝ එංගලන්තයට ක්‍රිකට් උගන්වති
වි-20 ලෝක කුසලාන 2024

ඉන්දියානුවෝ එංගලන්තයට ක්‍රිකට් උගන්වති

editorial - 2024 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද)  

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ එංගලන්තය අතර ගයානාහි ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (27 වැනිදා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ලකුණු 68 ක පහසු ජයක් වාර්තා කළ ඉන්දියාව සිය අපරාජිත බව රැකගනිමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. ඉන්දියාව විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයට පිවිසි තෙවැනි අවස්ථාව මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 172 ක ඉලක්කයක් හඹාගිය එංගලන්තයට කුල්දීප් යාදව් සහ අක්සර් පටේල් ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 16.4 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 103 ක් පමණි. කුල්දීප් ලකුණු 19 කට කඩුලු 3 ක්ද, අක්සර් ලකුණු 23 කට කඩුලු 3 ක්ද බිඳහෙළමින් විස්සයි-20 තරග බිමේ වත්මන් ලෝක ශූරයන් මෙවර අවසන් මහ තරගයෙන් ඉවතට ඇද දැමූහ.

එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ හැරී බෘක් පන්දු 19 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 25 ක් රැස්කළ අතර නායක ජොස් බට්ලර් පන්දු 15 කින් ලකුණු 23 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි. ජොෆ්රා ආචර්ද පන්දු 15 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 21 ක් රැස්කළ නමුත් ඔවුන් කිසිවකුට එංගලන්ත කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 171 ක් ලබාගත්තේය. එහිදී විරාට් කෝලි ලකුණු 9 කටත්, රිෂාබ් පාන්ට් ලකුණු 4 කටත් දැවී ගිය නමුත් ඉන්දියාවට සාර්ථක ආරම්භයක් ලබාදුන් නායක රෝහිත් ශර්මා පන්දු 39 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 57 ක් රැස්කළේය.

ඉන්දීය ඉනිම ගොඩනැගීම සඳහා ශර්මාට අනගි සහායක් දුන් සූර්යකුමාර් යාදව් පන්දු 36 කින් ලකුණු 47 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි. හර්දීක් පාණ්ඩ්‍යා හයේ පහර 2 න් සහ හතරේ පහරක් සමග පන්දු 13 කින් ලකුණු 23 ක්ද, රවින්ද්‍ර ජදේජා හතරේ පහර 2 ක් සමග පන්දු 9 කින් නොදැවී ලකුණු 17 ක්ද රැස්කරමින් ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව 170 සීමාව කරා ඔසවා තැබූහ.

මුලු ලකුණු සංඛ්‍යාව 40 ක් වන විට කඩුලු 2 ක් බිදවැටී අසීරු තත්වයකට පත්ව තිබූ ඉන්දීය ඉනිම, එම තත්වයෙන් මුදවාගත් ශර්මා සහ යාදව් තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 50 කදී ලකුණු 73 ක වේගවත්  සම්බන්ධතාවක් ගොඩනැගූහ. අර්ධ ශතකය ලබාගැනීමෙන් පසුව ආදිල් රෂීඩ්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ශර්මා දැවීයෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්විය.

එතැන් පටන් ඉන්දීය ලකුණු පුවරුවට ලකුණු 58 ක් එක්වන විට තවත් කඩුලු 4 ක් බිඳහෙළීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. එහීදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ක්‍රිස් ජෝඩාන් ඕවර 3 ක් යවමින් ලකුණු 37 කට කඩුලු 3 ක් දවාගත්තේය. අර්ධ ශතකය පෙනි පෙනී සිටියදී යාදව් දැවී ගියේ ජොෆ්රා ආචර්ගේ පන්දුවක් හමුවේ ජෝඩාන් අතට උඩ පන්දුවක් දෙමිනි.

වර්ෂාව හේතුවෙන් පැයකුත් විනාඩි 15 ක් ප්‍රමාද වී තරගය ආරම්භ කෙරුණු අතර කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක ජොස් බට්ලර් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දියාවට ආරාධනා කළේය. තරග ආරම්භයෙන් විනාඩි 40 කට පමණ පසුව නැවතත් වර්ෂාව ඇදහැළුණු අතර ඒ වන විට ඉන්දියාව ඕවර 8 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 65 ක් ලබා සිටියේය.

ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 171

(රෝහිත් ශර්මා 57, සූර්යකුමාර් යාදව් 47, හර්දීක් පාණ්ඩ්‍යා 23, රවින්ද්‍ර ජදේජා නොදැවී 17, ක්‍රිස් ජෝඩාන් 37/3) 

එංගලන්තය - ඕවර 16.4 කදී සියලු දෙනා දැවී 103

(ජොස් බට්ලර් 23,  හැරී බෘක් 25, ජොෆ්රා ආචර් 21, කුල්දීප් යාදව් 19/3, අක්සර් පටේල් 23/3, ජස්ප්‍රීට් බුම්රා 12/2)


අදහස් (1)

ඉන්දියානුවෝ එංගලන්තයට ක්‍රිකට් උගන්වති
  • dammika Friday, 28 June 2024 09:46 AM

    ඉන්දියාවට සුබපැතුම් !!!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.