Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඉන්දියාව - එංගලන්තය 5 වැනි වරටත් අවසන් තරගයේ දොරට තට්ටු කරයි
වි-20 ලෝක කුසලාන 2024

ඉන්දියාව - එංගලන්තය 5 වැනි වරටත් අවසන් තරගයේ දොරට තට්ටු කරයි

editorial - 2024 ජුනි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)   

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (27 වැනිදා) පැවැත්වෙන අවසන් පූර්ව තරගවලදී තරග වදින කණ්ඩායම් අතරින් ඉන්දියාව සහ එංගලන්තය අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීම සඳහා උත්සාහ කරන 5 වැනි අවස්ථාව මෙය ලෙස සටහන් වේ. ඒ අනුව මෙම වසරේදී දෙරට අතර පැවැත්වෙන අවසන් පූර්ව තරගය ඉතා තියුණු මුහුණුවරක් ගනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.

මින් පෙර 2010, 2016, 2021 සහ 2022 යන වසරවලදී එංගලන්තයත්, 2007, 2014, 2016 සහ 2022 යන වසරවලදී ඉන්දියාවත් විස්සයි-20 ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබේ. ඉන් අවස්ථා තුනකදී එංගලන්තය අවසන් තරගයට පිවිස ඇති අතර ඉන්දියාව අවසන් තරගයට පිවිස ඇත්තේ අවස්ථා දෙකකදී පමණි. එංගලන්තය දෙවරක්ද (2010 සහ 2022), ඉන්දියාව එක් වරක්ද (2007) එහිදී ශූරතාවට හිමිකම් කියා තිබේ.

මේ දක්වා පැවැති ‍විස්සයි-20 ලෝක කුසලාන තරගාවලි 9 තුළ තරග 4 කදී ඉන්දියාව සහ එංගලන්තය එකිනෙකාට එරෙහිව තරග වැදී ඇති අතර දෙපිලම ඉන් තරග දෙක බැගින් ජයගෙන, දෙක බැගින් පරාජයට පත්වී තිබේ. 2007 සහ 2012 යන වසරවලදී එංගලන්තය පරාජය කිරීමට ඉන්දියාවත්, 2009 සහ 2022 වසරවලදී ඉන්දියාව පරාජය කිරීමට එංගලන්තයත් සමත්ව තිබිණ.

මෙවර තරගාවලිය ගත්කළ එංගලන්තයට වඩා ඉන්දියාව ඉදිරියෙන් සිටින අතර මේ දක්වා සහභාගි වූ මූලික වටයේ සහ සුපිරි 8 දෙනාගේ වටයේ තරග සියල්ල ජයගෙන ඇති ඔවුහු සිය අපරාජිත බව රැකගෙන සිටිති. මූලික වටයේදී ඕස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්වූ එංගලන්තය, සුපිරි 8 දෙනාගේ වටයේදී දකුණු අප්‍රිකාව හමුවේද පරාජයට පත් විය. එහෙත් ඔවුන් විස්සයි-20 වත්මන් ලෝක ශූරයන් බව කිසිසේත්ම අමතක කළ නොහැකිය.

දකුණු අප්‍රිකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර පැවැත්වෙන අවසන් පූර්ව තරගය දෙස බලන කළ දකුණු අප්‍රිකාව තරගාවලිය පුරා අපරාජිතව සිටියද, වැඩි දෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ ඇෆ්ඝනිස්ථානය දෙසට බව නිගමනය කළ හැකිය. ඊට හේතුව වී ඇත්තේ නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව වැනි ප්‍රභල කණ්ඩායම් මෙවර තරගාවලියෙන් ඉවතට ඇද දැමීමට ඔවුන් සමත් විමය.

ඇෆ්ඝනිස්ථානය විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට පිවිසි පළමු අවස්ථාව මෙය වන අතර දකුණු අප්‍රිකාව එහි අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ තෙවැනි අවස්ථාව මෙය වේ. එහෙත් මින් පෙර 2009 සහ 2014 වසරවලදී ක්‍රීඩා කළ අවසන් පූර්ව තරග දෙකේදීම පරාජයට පත්වීම හේතුවෙන් දකුණු අප්‍රිකානුවන්ට අවසන් මහ තරගයට පිවිසීමට නොහැකි වී ඇත.  

එබැවින් මෙම තරගයේදී ඇෆ්ඝනිස්ථානය පරාජය කරමින් දකුණු අප්‍රිකාව අපරාජිතව අවසන් තරගයට පිවිසෙන්නේද, නැතහොත් දකුණු අප්‍රිකාවට එරෙහිව පෙරළිකාර ජයක් ලබා ඔවුන්ගේ අපරාජිත බව බිඳ දමමින් ඇෆ්ඝනිස්ථානය අවසන් තරගයට පිවිසෙන්නේද යන්න පිළිබඳව ලොව පුරා ක්‍රීඩා ලෝලීහු නොඉවසි‍ල්ලෙන් බලා සිටිති. මින් පෙර 2010 සහ 2016 යන වසරවලදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගවලදී ඇෆ්ඝනිස්ථානය පරාජය කිරීමට දකුණු අප්‍රිකාව සමත්ව තිබේ.

දකුණු අප්‍රිකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර පළමු අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 6.00 ට ට්‍රිනිඩෑන්හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර ඉන්දියාව සහ එංගලන්තය අතර දෙවැනි අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 8.00 ට ගයානාහි ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. තරගාවලියේ අවසන් මහ තරග‍ය ශ්‍රී ලංකා වේලාවෙන් 29 වැනිදා පස්වරු 8.00 ට බාබඩෝස්හි‍ කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.  


අදහස් (0)

ඉන්දියාව - එංගලන්තය 5 වැනි වරටත් අවසන් තරගයේ දොරට තට්ටු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.