Last Update  :  2025-01-04 09:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඉනිම අග්ගිස්සේ අභාග්‍යයක තරම
දෙවැනි විස්සයි-20 තරගය

ඉනිම අග්ගිස්සේ අභාග්‍යයක තරම

editorial - 2024 දෙසැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම - දමින්ද විජේසූරිය)

මවුන්ට් මන්ගනුයි නුවරදී අද (30 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදීත් ලකුණු 45 ක ජයක් අත්කරගත් සත්කාරක නවසීලන්ත කණ්ඩායම 2-0 ක් ලෙසින් තරගාවලියේ ජයත් තහවුරු කරගත්තේය. 

පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත ඕවර 20 නිමාවේදී කඩුලු 5 ක් දැවී ලකුණු 186 ක් ලබාගත්තේය. ලකුණු 187 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 141 කට දැවී ගියේය. ඕවර 15 ක් අවසානයේදී කඩුලු 3 කට ලකුණු 127 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 141 කට දැවී ගියේ ලකුණු 14 ක් ඇතුළත කඩුලු 7 ක් අහිමි කරගනිමිනි. 

විස්සයි-20 තරගයක ඉනිම අග්ගිස්සේ අවසන් ඕවර 4 ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසිදායක වන්නේ පුදුමාකාර අන්දමිනි. සෙනසුරාදා පැවැති පළමු විස්සයි-20 තරගයේදී ජයග්‍රහණයට අත පොවන දුරින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් ඕවර 4 දී කඩුලු 5 ක් අහිමි කරගත්තේය. 

අද තරගයේදී නවසීලන්ත පිතිකරුවෝ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් අවසන් ඕවර 4 න් ලකුණු 53 ක් උදුරා ගත්හ. එපමණක් නොව, ශ්‍රී ලංකා ඉනිමේ අවසන් ඕවර 4 ඇතුළත පිතිකරුවෝ හය දෙනෙක්ම දැවී ගියහ. කඩුලු 5 ක් හෝ ලකුණු 53 ක් යනු විස්සයි-20 තරගයක ජය පරාජය සම්බන්ධයෙන් තීරණාත්මක සාධකයක් වන බැවින් අවසන් ඕවර හතර ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසිදායක වන්නේ මන්දැයි සොයා බැලීම වටී. 

මහීෂ් තීක්‍ෂණගේ ඕවර 3 කින් ලකුණු 35 ක් උදුරාගැනීමට සමත්ව සිටි නමුත් 16 වැනි ඕවරය නිමාවේදී නවසීලන්ත ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු 4 ට 133 ක් ලෙසිනි. එහෙත් එතැන් සිට ඕවර 4 කින් ලකුණු 53 ක් උදුරාගත් සත්කාරකයෝ, නුවන් තුෂාර (10), බිනුර ප්‍රනාන්දු (9), මහීෂ් තීක්‍ෂණ (18) සහ බිනුර ප්‍රනාන්දු (16) හමුවේ අනුකම්පා විරහිත ප්‍රහාරයක නිරත වූහ. වනිඳු හසරංග සිය ඕවර 4 ලකුණු 28 කට සීමාකරගත් නමුත් මහීෂ් තීක්‍ෂණ (52/0) සහ මතීෂ පතිරණ (37/1) නවසීලන්ත පිතිකරුවන් හමුවේ දරුණු ප්‍රහාරයකට ලක්වූහ. 

ටිම් රොබින්සන් (41) සහ මාක් චැප්මන් (42) එක්ව, නවසීලන්තය වෙනුවෙන් පන්දු 41 කින් ලකුණු 69 ක් එකතු කළ බැවින්  ඕවර 10 ක් අවසානයේදී ලකුණු 86 ක් ලකුණු පුවරුවේ සටහන් වී තිබිණ. නවසීලන්ත පිතිකරුවෝ සිය කඩුලු ආරක්‍ෂා කරගත් බැවින්, ඊළඟ ඕවර 10 දී වඩාත් ආක්‍රමණශීලී පිතිහරඹයකට පිවිසීම සඳහා එය ඔවුනට කදිම ආධාරකයක් විය. දෙවැනි ඕවර 10 දී ඔව්හු ලකුණු 100 ක් ලබාගත්හ. 

වනිඳු හසරංග සිය ඕවර 4 දී පිතිකරුවන් පාලනය කරගත් නමුත් ඉනිම අග්ගිස්සේ ඕවර 4 න් නවසීලන්ත පිතිකරුවෝ උපරිම ප්‍රයෝජන ගත්හ. 

කුසල් මෙන්ඩිස් ලකුණු 10 කට දැවී ගිය නමුත් කුසල් පෙරේරා (48) සහ පැතුම් නිස්සංක (37) එක්ව ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු ඉහළ නැංවූහ. අවස්ථා කිහිපයකදීම දකුණත් පිතිකරුවාගේ භූමිකාවට පිවිසි කුසල් පෙරේරා, ඩීප් ස්ක්වෙයර් ලෙග් සහ ලෝන්ග් ලෙග් කලාප හරහා හතරේ සීමාවට ඉහළින් පන්දුව යැවීය. එහෙත් පැතුම් නිස්සංක දැවී යාමෙන් පසුව කුසල් පෙරේරාගේ සහායට විශ්වාසවන්ත සගයකු නොවීය. චරිත් අසලංක පන්දු 16 කින් ලකුණු 20 ක් ලබාගත් නමුත් කුසල් පෙරේරා පිටියෙන් ඉවත් වීමත් සමගින් ශ්‍රී ලංකා ඉනිම එකතැන කඩා වැටිණ. 

පිට පිටම දෙවැනි තරගයේදීත් ශ්‍රී ලංකා පිතිකරුවන් අන්ද මන්ද කළ ජේකබ් ඩෆී, කඩුලු 4 ක් දවාගැනීමෙන් පසුව බිනුර ප්‍රනාන්දුගේ උඩපන්දුවත් රැකගනිමින්, ශ්‍රී ලංකා පිතිකරුවන් පස් දෙනකු ආපසු ක්‍රීඩාගාරයට යැවීය. එසේ වුවත්, පන්දු 19 කින් ලකුණු 41 ක් ලබාගත් මිචෙල් හේ, ලකුණු 180 සීමාවෙන් ඔබ්බට සිය කණ්ඩායම කැඳවාගෙන ගිය බැවින් තරගයේ වීරයා සම්මානයට හිමිකම් කීවේය.

තරග 3 කින් සමන්විත තරගාවලියේ අවසන් විස්සයි-20 තරගය ජනවාරි 02 වැනිදා නෙල්සන් නුවර, සැක්ස්ටන් ඕවල් පිටියේදී පැවැත්වෙයි. 


අදහස් (0)

ඉනිම අග්ගිස්සේ අභාග්‍යයක තරම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.