Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(අන්තර්ජාතික වාර්තා ඇසුරිනි - සැකසුම : දමින්ද විජේසූරිය)
විනාඩි 25 ක් වැනි කෙටි කාලයක් ඇතුළත ඕස්ට්‍රේලියානුවන්ගේ කීර්තිය කීතු කීතු වලට ඉරා දැමිණ. පර්ත් නුවරදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (24 වැනිදා) ඕස්ට්‍රේලියානුවෝ විනාඩි 25 ක් ඇතුළත ලකුණු 12 කට කඩුල තුනක්ම අහිමි කරගත්හ.
ලකුණු 46 ක මුල් ඉනිමේ වාසියක් අත්කරගෙන සිටි ඉන්දියානුවෝ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 487 ක් ලබාගත්හ. එබැවින් 2025 බෝඩර් - ගවස්කාර් තරගාවලියේ ආරම්භක තරගය ජයගැනීමට නම් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිව්වැනි ඉනිමේදී ලකුණු 534 ක් ලබාගත යුතු විය. එහෙත් අද සවස යැවුණු අවසන් පන්දුවේදී මානස් ලැබුෂේන් දැවී ගිය බැවින් ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව කඩුලු 3 කට 12 ක් ලෙසින් දිස්විය.
ඉන්දියානුවන්ට නම් එය තවමත් ඇදහිය නොහැකි දිනයකි. එහෙත් ඕස්ටේ්රලියානුවන්ට නම් එහි අනෙක් පැත්තය. අද දවස ඔවුන් විසින් අමතක කරනු ලැබිය යුතු දිනයකි.
ඕස්ට්‍රේලියානුවන් දැනට වැටී සිටින අගාධයෙන් ගොඩඒමට නම් ප්රාතිහාර්යයක් ඕනෑකර තිබේ. ඕස්ට්‍රේලියානුවෝ සිය ඉලක්කයට තවත් ලකුණු 522 ක් ඈතින් සිටිති.
ජස්ප්‍රීට් බුම්රා විසින් යවන ලද දිනයේ අවසන් පන්දුව නිදැල්ලේ යැවීම මානස් ලැබුෂේන්ගේ අදහස වූවත්, කඩුල්ල තුළට දෝලනය වූ පන්දුව දකුණත් පිතිකරුවාගේ පා ආවරණයේ වැදිණ. පන්දුවට පහරක් ගැසීමට උත්සුක නොවූ පිතිකරුවා දැවීගිය බව පිටියේ විනිසුරුවරයා සැණෙකින් තීරණය කළ නමුත් ලැබුෂේන් එය විතීවි ක්රමවේදනයට යොමු කළේය. එහෙත් විනිසුරුවරයා නිවැරදි වූයෙන් විනාඩි 20 ක් ඇතුළත තුන්වැනි ඕස්ට්‍රේලියානු කඩුල්ලත් ඇද වැටිණ.
විනිසුරුවරු දිනයේ ක්‍රීඩාව නවතා ක්‍රීඩාගාරයට ගියහ.
දෙවැනි ඉනිම ආරම්භ කර විනාඩි දෙකක් ඇතුළත බුම්රාගේ පන්දුවකින් කෝඩුකාර නේතන් මැක්ස්වීනි ලකුණු නොලබා දැවී ගියේය. අංක 3 පිතිකරු මානස් ලැබුෂේන් ආරක්ෂාකරගැනීම සඳහා මුරකරු පිතිකරුවා වශයෙන් නායක පැට් කමින්ස් පිටියට පැමිණියද මොහොමඩ් සිරාජ් සහ විරාට් කෝලි එක්ව කමින්ස්ගේ ඉනිම විනාඩි 11 කට සීමා කළහ. අවසානයේදී ඕස්ට්‍රේලියානුවන්ට නායක කමින්ස්ගේ කඩුල්ලත් ලැබුෂේන්ගේ කඩුල්ලත් යන දෙකම නැතිවිය.
විරාට් කෝලිගෙන් ඕස්ට්‍රේලියානුවන්ට ලැබුණේ අශුභ අනතුරු ඇඟවීමකි. ටෙස්ට් තරග 16 කට පසුව ශතකයක් ලබාගත් කෝලි, අසහාය පිතිකරු ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ ශතක 29 පසුකර ගියේය. ඒ සමගම නායක බුම්රා විසින් ඉන්දීය ඉනිම අත්හිටුවන ලදි.
ශතකය ලබාගැනීමෙන් පසුව විරාට් කෝලි පිටිය මැද සිටිමින්ම, ක්‍රීඩාගාරයේ සිටි සිය බිරිඳ වන අනුෂ්කා ෂර්මාට ප්‍රතිචාර දැක්වීය.
“මට ඕනෑකළේ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාවට කීයකින් හරි දායක වෙන්නයි. නැතිව මට මේවායේ එල්ලිලා ඉන්න ඕන කෙනෙක් නෙමේ...”
“මගේ රට වෙනුවෙන් හොඳින් ක්‍රීඩා කරන්නට ලැබීම මට ආඩම්බරයක්. ඒ හැඟීම ගැන කියගන්න අමාරුයි. ඒ අතරම ඇයත් (බිරිඳ - අනුෂ්කා ෂර්මා) මෙතැන සිටින එකත් සුවිශේෂී දෙයක් තමා” යයි ආපසු ක්‍රීඩාගාරයට එමින් සිටියදී ෆොක්ස් ක්‍රිකට් සේවයේ විචාරක ඇඩම් ගිලික්රිස්ට් සමගින් කෝලි කීවේය.
කෝලි නැවතත් ලකුණු අතරට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දීය කණ්ඩායමේ හිටපු පුහුණුකරුවකු මෙන්ම කණ්ඩායමේ හිටපු අධ්යක්ෂවරයාද වූ රවී ශාස්ත්‍රි මහතා කීවේ එය ඕස්ට්‍රේලියානුවන්ට අශුභ අනතුරු ඇඟවීමක් බවයි. මේ වන විට 36 හැවිරිදි විරාට් කෝලිගේ අවසන් ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචාරය ද මෙය වීමට බොහෝ ඉඩ තිබේ.
කෝලි කරළියේ ප්‍රධාන චරිතය බාරගැනීමට පෙර ක්‍රිකට් ලෝකයම කතා කරමින් සිටියේ තවමත් 22 හැවිරිදි යශස්වී ජයිස්වාල් පිළිබඳවය. ඉන්දීය කණ්ඩායම මෙම ශක්තිමත් ස්ථානයට කැඳවාගෙන ඒමේ මූලික අඩිතාලම දැමූ ක්‍රීඩකයා ජයිස්වාල් විය.
මිචෙල් මාෂ්ගේ පන්දුවකින් දැවීයාමට පෙර, පන්දු 293 කින් ලකුණු 161 ක් ලබාගත් ජයිස්වාල්, ලෝකේෂ් රාහුල් සමගින් එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 201 ක දැවැන්ත සම්බන්ධතාවක් ගොඩනැංවීය. විනාඩි 432 ක් තිස්සේ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට රිසි සේ තැළුෑ ජයිස්වාල්ගේ ඉනිම හතරේ පහර 15 කින් සහ හයේ පහර 3 කින් සමන්විත විය. ටෙස්ට් තරග වලදී මේ වසරේ වැඩිම හයේ පහර ගැසූ ක්‍රීඩකයා ද වන ජයිස්වාල් අද දිනයේ ලබාගත් ලකුණු 161 ක් සමගින් දකුණු අප්‍රිකානු පිලේ හිටපු නායකයකු වන ග්‍රේඒම් ස්මිත් සතුව තිබූ ලෝක වාර්තාවක් ද සමකළේය.
සිය මුල්ම ටෙස්ට් ශතක හතරම ලකුණු 150 ඉක්මවමින් ලබාගත් ග්‍රේඒම් ස්මිත් ලෝක වාර්තාවක් තබා තිබිණ. ස්මිත්ගේ මුල්ම ටෙස්ට් ශතක 4 සටහන් වූයේ 200, 151, 277 සහ 259 ක් ලෙසිනි. ජයිස්වාල්ගේ මුල්ම ටෙස්ට් ශතක 4 සටහන් වන්නේ 171, 209, නොදැවී 214 සහ 161 ක් ලෙසිනි. කෙසේ වෙතත් මුල්ම ටෙස්ට් ශතක 4 න් තුනක් ද්විත්ව ශතක බවට ප්‍රවර්ථනය කිරීමේ වාර්තාව තවමත් ස්මිත් සතුව තිබේ.
ජයිස්වාල්ගේ දැවී යාමත් සමගින්, ඕස්ටේ්රලියානුවෝ පන්දු 18 ක් ඇතුළත කඩුලු 3 ක් දවාගත්හ. එහෙත් කෝලි පිටියේ සිටි බැවින් ඊට වඩා යමක් කිරීමට ඕස්ටේ්රලියානුවෝ අසමත් වූහ.
වොෂිංටන් සුන්දර් සමගින් එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 89 ක සම්බන්ධතාවක් ගෙඩනැංවූ කෝලි, මානස් ලැබුෂේන්ගේ පන්දුවක් හතරේ සීමාවෙන් එපිටට යවමින් සිය 30 වැනි ශතකය සම්පූර්ණ කළේය. ලෝකයේ වැඩිම ටෙස්ට් ශතක ලබාගත් පිතිකරුවන් අතර 11 වැනි ස්ථානය කෝලිට හිමිවෙයි.
ඉන්දියාව - පළමු ඉනිම 150 යි
ඕස්ට්‍රේලියාව පළමු ඉනිම 104 යි
ඉන්දියාව - දෙවැනි ඉනිම කඩුලු 6 ට 487 යි
(යශස්වී ජයස්වාල් 161, ලෝකේෂ් රාහුල් 77, දෙව්දූත් පඩික්කාල් 25, විරාට් කෝලි නොදැවී 100, වොෂිංටන් සුන්දර් 29, නිතිෂ් කුමාර් රෙඩ්ඩි නොදැවී 38, නේතන් ලයන් 96/2)
ඕස්ට්‍රේලියාව - දෙවැනි ඉනිම කඩුලු 3 ට 12 යි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.