Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඕස්ට්‍රේලියානුවෝ ටෙස්ට් ලෝක ශූරතාව දිනති
අවසන් මහ තරගය

ඕස්ට්‍රේලියානුවෝ ටෙස්ට් ලෝක ශූරතාව දිනති

editorial - 2023 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයේ ලන්ඩන් නුවර ඕවල් පිටියේදී පැවැති ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ඉන්දියාව ලකුණු 209 කින් පරාජය කළ ඕස්ට්‍රේලියානුවෝ 2023 ටෙස්ට් ලෝක ශූරතාව දිනාගත්හ. 2021 ජූලි මාසයෙන් ආරම්භ වූ මෙම තරගාවලිය වසර දෙකක් පුරා පැවැත්විණ.

අවසන් මහ තරගයෙන් ජයගැනීම සඳහා ලකුණු 444 ක ඉලක්කයක් කරා ගිය ඉන්දීය කණ්ඩායම ලකුණු 234 කට දැවී ගියේය. තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ (10 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට ඉන්දියාව සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 163 ක් ලබා සිටි නමුත් අද පෙරවරුවේදී ලකුණු 55 ක් ඇතුළත අවසන් කඩුලු 7 ම අහිමි කරගත්තේය.

තරගයේ අවසන් දිනය වූ අද (11 වැනිදා) දිවා ආහාරයට ස්වල්ප වේලාවකට පෙර ඕස්ට්‍රේලියානුවෝ ජයග්‍රහණය සම්පූර්ණ කළහ. වසර 1975 සිටම, අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් සංවිධානය කරනු ලබන නොයෙකුත් මාදිලියේ ශූරතා වලින් සියල්ලක්ම පාහේ දිනා සිටි ඕස්ට්‍රේලියාවට ඊයේ දක්වා දිනාගත නොහැකිව තිබූ එකම ශූරතාව ටෙස්ට් ලෝක ශූරතාවයි. ඔව්හු අද එය දිනාගත්හ.

පසුගිය වතාවේදීත් (2021) ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් ඉන්දියාව එවර නවසීලන්තය හමුවේ පරාජය විය. වසර 2011 දී ශ්‍රී ලංකාව පරාජය කරමින් ලෝක කුසලාන දිනාගැනීමෙන් පසුව ඉන්දියාව මේ දක්වා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කුසලානයක් දිනාගෙන නැත.

අද පෙරවරුවේ එකම ඕවරයකදී විරාට් කෝලි (49) සහ රවීන්ද්‍ර ජදේජා (0) දවාගත් වේග පන්දු යවන ක්‍රීඩක ස්කොට් බෝලන්ඩ් (46/3), පන්දු දෙකක් ඇතුළතදී කඩුලු දෙකක් දවාගනිමින් ඉන්දියාවට අනපේක්‍ෂිත පහර දෙකක් දුන්නේය. එතැනින් ඉන්දියානුවන් සිරකර ගත් නේතන් ලයන් (41/4) ඉන්දීය පිතිකරු ලයිස්තුවේ පහළ කොටස සම්පූර්ණයෙන්ම සුද්ද කර දැමුවේය.

ඕස්ටේ්‍රලියානුවන්ගේ මීළඟ තරගාවලිය එංගලන්තයට එරෙහිව පැවැත්වෙන අළු බඳුන තරගාවලියයි. එය ලබන සතියේදී ආරම්භ වේ.


ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම 469 යි
ඉන්දියාව - පළමු ඉනිම 296 යි
ඕස්ට්‍රේලියාව - දෙවැනි ඉනිම කඩුලු 8 ට 270 යි
ඉන්දියාව - දෙවැනි ඉනිම 234 යි

(රෝහිත් ෂර්මා 43, ෂුබ්මන් ගිල් 18, චෙටේස්වාර් පුජාරා 27, විරාට් කෝලි 49, අජින්ක්‍යා රහනේ 46, ශ්‍රීකාර් භාරත් 23, මොහොමඩ් ශාමි 13, ස්කොට් බෝලන්ඩ් 46/3, මිචෙල් ස්ටාක් 77/2, නේතන් ලයන් 41/4)

- 213


අදහස් (0)

ඕස්ට්‍රේලියානුවෝ ටෙස්ට් ලෝක ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.