Last Update  :  2025-01-04 09:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International කුසල් ජනිත්ගේ ශතකය ජයග්‍රහණයට පාර කපයි
තුන්වැනි විස්සයි-20 තරගය

කුසල් ජනිත්ගේ ශතකය ජයග්‍රහණයට පාර කපයි

editorial - 2025 ජන මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම - දමින්ද විජේසූරිය)

වසර 14 කට පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 ශතකයක් ලබාගත් කුසල් ජනිත් පෙරේරා (101) නවසීලන්තයේ නෙල්සන් නුවරදී අද (02 වැනිදා) පැවැති තුන්වැනි විස්සයි-20 තරගයේදී ජයග්‍රහණය කරා යාමේ මාවත ශ්‍රී ලංකා පිලට විවර කර දුන්නේය. නෙල්සන් නුවර සෙක්ස්ටන් ඕවල් පිටියේදී පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 07 ක තියුණු ජයක් ලබාගත් නමුත් පළමු තරග දෙකම ජයගෙන සිටි නවසීලන්තය 2-1 කින් තරගාවලිය ජයගත්තේය. 

වසර 18 ක් තිස්සේ විස්සයි-20 අන්තර්ජාතික ක්‍රිකට් තරගවලට සහභාගි වී සිටින නමුත් ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වී ඇත්තේ ශතක 3 ක් පමණි. කුසල් ජනිත් පෙරේරා අද ලබාගත් ලකුණු 101 හැරෙන්නට, ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 අන්තර්ජාතික ශතක ලබාගෙන ඇත්තේ තිලකරත්න ඩිල්ෂාන් (නොදැවී 104), සහ මහේල ජයවර්ධන (100) දෙදෙනා පමණි. 

වසර 2011 දී ඕස්ටේ්‍රලියානු පිලට එරෙහිව පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී තිලකරත්න ඩිල්ෂාන් ලබාගත් ලකුණු 104 ශ්‍රී ලංකාව වෙනුවෙන් අවසන් වරට වාර්තා වූ විස්සයි-20 ශතකය විය. 

කුසල් ජනිත් පෙරේරා පන්දු 46 කින් ශතකය ලබාගත් නමුත් නවසීලන්ත පිතිකරුවෝ පසුපස නොබලාම ඉලක්කය කරා ගියහ. 

14 වැනි ඕවරය නිමාවේදී කඩුලු 4 කට ලකුණු 143 ක් ලබා සිටි  නවසීලන්තයට එතැන් සිට ජයග්‍රහණය සඳහා පන්දු 36 කින් ලකුණු 76  ක් අවශ්‍යව තිබිණ. චරිත් අසලංක යැවූ ඊළඟ ඕවරයේදී පිට පිටම හයේ පහර 4 ක් ගැසූ ඩැරිල් මිචෙල්, එම ඕවරයේදී ලකුණු 23 ක් උදුරා ගනිමින් නවසීලන්තයේ ඉලක්කය පන්දු 30 කින් ලකුණු  51 ක් දක්වා වෙනස් කළේය. එහෙත් ඊළඟ ඕවරයේදී චරිත් අසලංක රැකගත් විශිෂ්ට උඩපන්දුවත් සමගින් ලකුණු 02 කට කඩුලු දෙකක් දවාගත් වනිඳු හසරංග නැවත වරක් තරගයේ වාසිය ශ්‍රී ලංකා පිල වෙත ඇද දුන්නේය. 

අද තරගයේදී නම් ඉනිම අග්ගිස්සේ ඕවර 4 න් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වාසිය අහුලා ගත්හ. 
කුසල් ජනිත් පෙරේරා සිය ශතකය කරා අවතීර්ණ වූයේ මැතිව් හෙන්රිගේ පන්දු 4 කදී ගැසූ හයේ පහර 3 කිනි. ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් ඕවර 4 න් ලකුණු  51 ලබාගත් අතර එම පන්දු 24 ඇතුළත හයේ පහර  4 ක් සහ හතරේ පහර 4 ක් තිබිණ. වෙනත් ආකාරයකින් කියන්නේ නම් ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දු 24 දී පන්දු  8 කින් ලකුණු 40 කි. 

ශ්‍රී ලංකා පිතිකරුවන් අවසන් ඕවර 4 න් ලකුණු 51 ක් ලබාගත් නමුත් නවසීලන්ත පිලට සිය අවසන් ඕවර 4 න් (පන්දු 24 න්) ලබාගත හැකිවූයේ ලකුණු 41 කි. ජයග්‍රහණයේ මායිම එතැන රැඳී තිබිණ. 

කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නායක මිචෙල් සෑන්ට්නර් පළමුවෙන් පන්දු යැවීම තෝරාගතද, තරමක් කුඩා ක්‍රීඩාංගණයක් වන සෙක්ස්ටන් ඕවල් පිටියේදී ශ්‍රී ලංකා පිතිකරුවෝ අත දිගහැර පහර දුන්හ. හයේ පහර 12 ක් ඇතුළත් වූ ශ්‍රී ලංකා ඉනිමට හතරේ පහර 20 ක් ද එක්ව තිබිණ. 

10 වැනි ඕවරය නිමා වන විට ලකුණු 85 ක් පුවරුවේ සටහන්ව තිබූ අතර කුසල් ජනිත් පෙරේරා සහ චරිත් අසලංක එක්ව ඕවර 7.3 කින් (පන්දු 45) සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 100 ක් එකතු කළහ. 

නවසීලන්ත ඉනිමේ පළමු ඕවර 6 නිමා වන විටත් ආරම්භක පිතිකරුවන් දෙදෙනාම පිටියේ රැඳී සිටි අතර ලකුණු 63 ක් පුවරුවේ තිබිණ. වහාම ක්‍රියාත්මක වූ අසලංක පන්දුව සියතට ගනිමින් ඉතිරි ඕවර 6 ඇතුළත පිතිකරුවන් හතර දෙනකු ආපසු ක්‍රීඩාගාරයට යැවීය. නවසීලන්ත ජයග්‍රහණය වෙනුවෙන් අවසන් ඕවරයේදී ලකුණු 22 ක් අවශ්‍ය වූවද බිනුර ප්‍රනාන්දු එය ලකුණු 14 කින් නතර කරගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට සැනසිලිදායක ජයක් ගෙන එමිනි. 


අදහස් (0)

කුසල් ජනිත්ගේ ශතකය ජයග්‍රහණයට පාර කපයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.