Last Update  :  2024-12-26 20:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International දකුණු අප්‍රිකාව ලකුණු 221 ක් ඉදිරියෙන්
ඛෙබාරා ටෙස්ට් තරගය

දකුණු අප්‍රිකාව ලකුණු 221 ක් ඉදිරියෙන්

editorial - 2024 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ පිට පිට ටෙස්ට් ඉනිම තුනකදීම ලකුණු 50 ක් ඉක්මවා ලබාගත් ටෙම්බා බවුමා (නොදැවී 48) තවත් අර්ධ ශතකයක් කරා ළඟා වෙමින් සටී. බවුමා සමගින් එක්වූ ටි්‍රස්ටන් ස්ටබ්ස් (නොදැවී 36) දෙවැනි ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 221 කින් ඉදිරියට කැඳවාගෙන ගියේය. 

ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ගේ තරම හොඳින්ම වටහාගෙන සිටින බැවින් දකුණු අප්‍රිකානුවෝ දෙවැනි ඉනිමේදී තරමක් පරෙස්සමෙන් පිතිහරඹයේ යෙදුණහ. ඛෙබාරා නුවරදී පැවැත්වෙන මෙම ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ අද (07 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 191 ක් ලබා සිටියේය. 

මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 30 ක වාසියක් ද ඇති බැවින් ඒ වන විට දකුණු අප්‍රිකානුවෝ ලකුණු 221 කින් ඉදිරියෙන් සිටියහ. දකුණු අප්‍රිකානුවන්ගේ තුන්වැනි කඩුල්ල ලකුණු 109 දී බිම දමාගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් වූ නමුත් ටෙම්බා බවුමා සහ ටි්‍රස්ටන් ස්ටබ්ස් එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 82 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනංවා තිබිණ. 

පැටර්සන්ගේ කඩුලු 5 වික්‍රමය හේතුවෙන් අද දිවා ආහාරයෙන් මඳ වේලාවකට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 328 කට දැවී ගියේය. 

ඇන්ජලෝ මැතිව්ස් සහ කමිඳු මෙන්ඩිස් දෙදෙනා, ඊයේ සිටම, සිව්වැනි කඩුල්ල වෙනුවෙන් සාර්ථක සම්බන්ධතාවක් ගොඩනඟමින් සිටියද මාකෝ යැන්සන් විසින් පන්දු 13 ක් ඇතුළතදී ඔවුන් දෙදෙනාවම ආපසු ක්‍රීඩාගාරයට යවන ලදි. දෙවැනි නව පන්දුව ලබාගැනීමෙන් පසුව පන්දු යැවීමට පැමිණි ඩේන් පැටර්සන් එක ඕවරයකදී පිතිකරුවන් තිදෙනකුම ආපසු ක්‍රීඩාගාරයට යවමින් තරගයේ එතෙක් පැවැති තත්ත්වය උඩු යටිකුරු කළේය. 

පැටර්සන්ගේ 17 වැනි ඕවරයට පෙර ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 5 කට ලකුණු 297 ක් ලෙසිනි. ඒ වන විට ශ්‍රී ලංකා පිලේ අවාසිය ලකුණු 61 ක් වූවත් කඩුලු 5 ක් අතැතිව සිටි බැවින් තරගය දෙපිලටම සමබරව පැවතිණ. පැටර්සන්ගේ ඕවරයට පසුව ලකුණු පුවරුව කඩුලු 8 කට 298 ක් ලෙසින් සටහන් වන විට තරගයේ වාසිය දකුණු අප්‍රිකාව දෙසට නැඹුරු වී තිබුණද, සටන්කාමී පිතිහරඹයක නිරත වූ ප්‍රභාත් ජයසූරිය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 328 ක් දක්වා ඉදිරියට ගෙන ගියේය. 

අද පෙරවරුවේදී තරගය ආරම්භ වීමෙන් පසුව යැවුණු මුල්ම ඕවර කිහිපයේදී ඇන්ජලෝ මැතිව්ස් සහ කමිඳු මෙන්ඩිස් දෙදෙනා කේෂව් මහාරාජ්ට සහ කගීසෝ රබාඩාට පරෙස්සමෙන් මුහුණ දුන්හ. දෙදෙනාම හොඳින් පන්දු යැවූ හෙයින් ලකුණු ලබාගැනීමේ අවස්ථා අඩු වූවත් මැතිව්ස් සහ කමිඳු මෙන්ඩිස් පිටියේ රැඳී සිටීම දකුණු අප්‍රිකානුවන්ගේ හිතසුව පිණිස නොවීය. 

දෙවැනි නව පන්දුව ලබාගැනීමට ඕවර දෙකක් පමණ තිබියදී දකුණු අප්‍රිකානු නායකයා විසින් මාකෝ යැන්සන් කැඳවනු ලැබුවේ නව පන්දුවෙන් පන්දු යැවීමට අවශ්‍ය රිද්මය ලබාගැනීමට වමත් වේග පන්දු යවන්නාට කල්තියාම අවස්ථාව ලබාදීමේ අටියෙනි. එහෙත් නව පන්දුව ලබාගැනීමට පෙරම කෙටි පන්දුවක් යවමින් යැන්සන් විසින් ඇන්ජලෝ මැතිව්ස් දවාගන්නා ලද්දේ සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 62 කින් අවසන් කරමිනි. 

මැද ඉන්න එල්ලයේ පතිත වී තණතීරුවේ මැද කෙටී ඉහළ නැඟුණු පන්දුවෙන් ගැලවීමට මැතිව්ස්ට ඉඩ ප්‍රස්ථාවක් නොවිණ. යැන්සන් වමත් වේග පන්දු යවන්නකු වන බැවින් පන්දුව තමන් වෙත පැමිණි කෝණයත් එහි ඉපිළීමත් හමුවේ ටෙස්ට් ලකුණු 8000 කට හිමිකම් කියන පළපුරුදු ශ්‍රී ලාංකිකයා නිරුත්තර විය. 

දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා නිවැරදි ලෙසින් ගණන් බලා තිබිණ. 

77 වැනි ඕවරයේදී පන්දු යැවීමට කැඳවූ මාකෝ යැන්සන්ට දෙවැනි නව පන්දුව අතටම ලැබිණ. එයින් යැවුණු තුන්වැනි පන්දුවේදී කමිඳු මෙන්ඩිස් දැවී ගියේ අර්ධ ශතකය අත පොවන මානයේ තිබියදීය. එතැන් සිට ඩේන් පැටර්සන් කරළිය බාරගත්තේය. වේග පන්දු යවන්නකු වුවද, තුන්වැනි ස්ලිප් හි සිටි මාකෝ යැන්සන් සිය වම් පසට පනිමින් තනි අතින් ඩැහැගත් උඩපන්දුව නිසා ළහිරු කුමාර දැවී යාමෙන් 17 වැනි ඕවරයේදී ඩේන් පැටර්සන්ට කඩුලු 3 ක් හිමිවිය. 

 


 

- 213


අදහස් (0)

දකුණු අප්‍රිකාව ලකුණු 221 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.