Last Update  :  2025-01-15 11:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International දිනුර - ප්‍රවීන් - ශාරුජන් අවධානය දිනාගනිති
යොවුන් ටෙස්ට් තරගය

දිනුර - ප්‍රවීන් - ශාරුජන් අවධානය දිනාගනිති

editorial - 2024 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම - දමින්ද විජේසූරිය)

වර්ෂාවෙන් බාධා ඇතිවූ නමුත් ශ්‍රී ලාංකික යෞවනයන්ගේ දස්කම් ඉස්මතු වූ ශ්‍රී ලංකා - එංගලන්ත පළමු වැනි යොවුන් ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. ලන්ඩන් නුවරට වයඹ දෙසින් පිහිටි සුන්දර ගම්මානයක් වන වෝම්ස්ලේහිදී පැවැති මෙම තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 324 ක් ලබාගත් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ එංගලන්ත යොවුන් පිලේ මුල් ඉනිම ලකුණු 247 කට සීමා කළහ. 

තරගයේ ආරම්භක දිනයේ කොටසක් මෙන්ම දෙවැනි දිනය සම්පූර්ණයෙන්මත් වර්ෂාවට සේදී ගිය බැවින් තරගයේ තීරණයක් බලාපොරොත්තු විය නොහැකි විය. 

තුන්වැනි දිනයේදී සත්කාරක එංගලන්ත යොවුන් පිල ලකුණු 247 කට දවාගත් ශ්‍රී ලාංකිකයෝ තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී 192 ක් ලබා සිටියේ සත්කාරකයන්ට වඩා ලකුණු 269 ක් ඉදිරියෙන් සිටිමිනි.
 
නායක දිනුර කළුපහන මුල් ඉනිමේදී ලබාගත් ශතකය නිසා හිස් ඔසවාගත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට පා දඟ පන්දු යවන ප්‍රවීන් මනීෂගෙන් ලැබුණේ කදිම ශක්තියකි. ලකුණු 56 කට කඩුලු 6 ක් දවාගත් මනීෂගේ පන්දු යැවීම හමුවේ එංගලන්ත යොවුන් පිතිකරුවෝ ලකුණු 66 ක් ඇතුළත සිය අවසන් කඩුලු හයම අහිමි කරගත්හ. 

එංගලන්ත යොවුන් පිලේ ආරම්භ පිතිකරු ජේඩන් ඩෙන්ලි කෙන්ට් ප්‍රන්තයේ දෙවැනි පෙළ නියෝජනය කරන පිතිකරුවකු වූවත් ඔහු ලකුණු 08 කට දැවී ගියේය. එහෙත් කේෂණ ෆොන්සේකා (86) සහ ෆ්‍රෙඩී මැකෑන් (92) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 160 ක අති විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනැංවූහ. මෙම සම්බන්ධතාව බිඳ දමන ලද්දේ විහස් තෙව්මික විසිනි. ෆ්‍රෙඩී මැකෑන්ව ස්ටම්ප් කිරීමකට හසුකරගන්නා තෙව්මික, පන්දු 8 කට පසුව එංගලන්ත යොවුන් පිලේ නායක හම්සා ෂෙයික්ගේ කඩුල්ලත් තමන් සතුකර ගනී. 

එතැනින් වැඩ අල්ලන ප්‍රවීන් මනීෂ එංගලන්ත යොවුන් පිතිකරුවන්ට හැරෙන්නට වත් කාලයක් නොතබා, අවසන් දිනයේ ඇද වැටුණු එංගලන්ත කඩුලු 6 න් 5 කටම හිමිකම් කීවේය. 

ශ්‍රී ලාංකික සම්භවයකින් යුත් කේෂණ ෆොන්සේකා, ලැන්කෂයර් ප්‍රාන්ත පිල නියෝජනය කරන්නෙකි. පැය තුන හමාරක් පමණ පිටියේ රැඳුණු ෆොන්සේකා ශ්‍රී ලාංකික පන්දු යවන්නන් හමුවේ පන්දු 149 කට මුහුණ දෙමින්, ඒවායින් 13 ක් හතරේ සීමාවෙන් එපිටට යැවීය. 

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ශාරුජන් ශන්මුගනාදන්ගේ අණසකට නතුව තිබිණ. විනාඩි 151 ක් තිස්සේ කඩුල්ලේ රැඳෙමින් ලකුණු 73 ක් ලබාගත් ශන්මුගනාදන්, හතරේ පහර 10 කින් සිය ඉනිම සැරසීය. 
තරග දෙකකින් සමන්විත තරගාවලියේ තීරණාත්මක තරගය ජූලි 16 වැනිදා චෙම්ස්ෆෝර්ඞ්හිදී ආරම්භ වෙයි. 


ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම - පළමු ඉනිම 324 යි
(පුලිඳු පෙරේරා 13, ශාරුජන් ශන්මුගනාදන් 10, මහීත් පෙරේරා 22, දිනුර කළුපහන 104, දිනිරු අබේවික්‍රමසිංහ 43, නේතන් කල්දේරා 55, විහස් තෙව්මික 19, එන්. ශර්මා 59/2, ඇලෙක්ස් ෆ්‍රෙන්ච් 81/4, ඇලෙක්ස් ග්‍රීන් 36/2)

එංගලන්ත යොවුන් කණ්ඩායම - පළමු ඉනිම 247 යි
(ෆ්‍රෙඩී මැකෑන් 92, කේෂණ ෆොන්සේකා 86, ෆරාන් අහමඞ් 11, ඇලෙක්ස් ෆ්‍රෙන්ච් 19, විහස් තෙව්මික 37/2, ප්‍රවීන් මනීෂ 56/6)

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම - දෙවැනි ඉනිම කඩුලු 4 ට 192 යි
(පුලිඳු පෙරේරා 34, සදෙව් සමරසිංහ 20, ශාරුජන් ශන්මුගනාදන් 73, ගයන වීරසිංහ 33, මහීත් පෙරේරා නොදැවී 20, ජේඩන් ඩෙන්ලි 57/2)

 

(ක්‍රික් ඉන්ෆෝ අනුග්‍රහයෙනි)


අදහස් (0)

දිනුර - ප්‍රවීන් - ශාරුජන් අවධානය දිනාගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.