Last Update  :  2025-01-04 09:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International නිර්දේශිත නාමාවලියට ශ්‍රී ලංකාවෙන් 4 ක්
2024 අයි.සී.සී. සම්මාන

නිර්දේශිත නාමාවලියට ශ්‍රී ලංකාවෙන් 4 ක්

editorial - 2024 දෙසැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් සංවිධානය කරනු ලබන 2024 වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයන්ගේ සම්මාන සඳහා නිර්දේශිත ලයිස්තුවට ශ්‍රී ලාංකිකයෝ සිව් දෙනෙක් ඇතුළත්ව සිටිති. කමිඳු මෙන්ඩිස් (වසරේ විශිෂ්ටතම නැඟී එන ක්‍රිකට් ක්‍රීඩකයා), කුසල් මෙන්ඩිස් සහ වනිඳු හසරංග (වසරේ විශිෂ්ටතම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා) සහ චමරි අතපත්තු (වසරේ විශිෂ්ටතම එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව) අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සම්මන සඳහා නිර්දේශිත ලයිස්තුවට ඇතුළත් ශ්‍රී ලාංකිකයෝ වෙති. 

වසර 2024 එක්දින සහ විස්සයි-20 සම්මාන සඳහා නිර්දේශිත නම් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ඊයේ (29 වැනිදා) ප්‍රකාශයට පත්කරන ලදි. 

ගෙවී යන වසරේදී වැඩිම එක්දින ලකුණු ලබාගත් පිතිකරුවා වන කුසල් මෙන්ඩිස් (742) සහ වැඩිම එක්දින කඩුලු දවාගත් පන්දු යවන්නා වන වනිඳු හසරංග (26) වසරේ විශිෂ්ටතම එක්දින ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශ වී තිබේ. 2024 වසරේදී එක්දින ලකුණු 417 ක් සහ කඩුලු 17 ක් දවාගත් ඇෆ්ඝනිස්ථානයේ අස්මතුල්ලා ඔමර්සායි මෙම කාණ්ඩයේ සිටින තවත් ප්‍රබල තරගකරුවෙකි. 

වසරේ විශිෂ්ටතම නැඟීඑන ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා කමිඳු මෙන්ඩිස් නිර්දේශ වී සිටී. කමිඳු මෙන්ඩිස් 2024 වසරේදී ටෙස්ට් තරග 9 කින් ලකුණු 1049 ක්ද, එක්දින තරග 7 කින් ලකුණු 104 ක්ද විස්සයි-20 තරග 17 කදී ලකුණු 298 ක් ද රැස්කර තිබේ. 

වසරේ විශිෂ්ටතම නැඟීඑන ක්‍රීඩකයා තෝරා ගැනීමේදී ක්‍රිකට් ක්‍රීඩාවේ ආකෘති තුනේදීම දස්කම් පෙන්වන ක්‍රීඩකයන් සලකා බැලෙනු ඇත. එහිදී නැඟීඑන ක්‍රීඩකයන්ගේ කාණ්ඩය බෙහෙවින් උණුසුම් තරගකාරීත්වයක් පෙන්නුම් කරයි. කමිඳු මෙන්ඩිස්ට අමතරව එංගලන්තයේ ගස් ඇට්කින්සන්, පාකිස්තානයේ සයිම් අයුබ් සහ බටහිර ඉන්දීය දූපත් සමූහයේ ෂෙමාර් ජෝෂප් මෙම ලයිස්තුවට එක්ව සිටිති.  

පසුගිය වසරේදීත් විශිෂ්ටතම එක්දින ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගත් චමරි අතපත්තු නැවත වරක් එම සම්මානය සඳහා නිර්දේශ වී සිටින්නීය. ඇයගේ ප්‍රබලතම තරගකාරිය වන්නේ දෙවතාවක්ම ‘රෂෙල් ෆ්ලින්ට්’ සම්මානය දිනාගත් ඉන්දියාවේ ස්මි්‍රති මන්දනායි. වසර 2024 වැඩිම එක්දින ලකුණු ලබාගත් පිතිකාරිණිය වන මන්දනා මේ වසරේදී ලබාගත් ශතක 4 කි. මන්දනාට අමතරව ඕස්ටේ්‍රලියාවේ ඇනබෙල් සදර්ලන්ඩ් සහ දකුණු අප්‍රිකාවේ ලෝරා වූල්වර්ත් දෙදෙනාත් චමරි හා තරගයට සිටිති. 

වසරේ විශිෂ්ටතම විස්සයි-20 ක්‍රීඩිකාවට හිමි සම්මානය සඳහාත් චමරි අතපත්තු මෙන්ම දකුණු අප්‍රිකාවේ ලෝරා වූල්වර්ත් නිර්දේශ වී සිටිති. මේ වසරේ විස්සයි-20 අන්තර්ජාතික තරග වලදී ලකුණු 720 ක් රැස්කරමින් කඩුලු 21 දවාගැනීමට ද චමරි සමත්ව සිටින්නීය. 
කෙසේ වෙතත් මුල්ම විස්සයි-20 ලෝක කුසලාන ජය නවසීලන්තයට හිමිකර දුන් නවසීලන්තයේ ඇමීලියා කර් විස්සයි-20 කාන්තා තරග වලදී පහසුවෙන් පැත්තකට කළ නොහැකි ක්‍රීඩිකාවකි. මේ වසරේදී ඇමීලියා විසින් දවාගන්නා ලද කඩුලු සංඛ්‍යාව 29 කි. රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 387 කි. 

වසරක කාලයකදී විස්සයි-20 කඩුලු 21 ක් දවාගනිමින් ලකුණු 539 ක් ලබාගත් අයර්ලන්තයේ ඕර්ලා ප්‍රෙන්ඩගාස්ට් ද නිර්දේශිත ක්‍රීඩිකාවන්ගේ නාමාවලියට ඇතුළත්ව සිටින්නීය. 

මෙම එක් එක් කාණ්ඩවල ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිල වෙබ් අඩවිය හා ලියාපදිංචි වී සිටින ක්‍රිකට් ලෝලීන්ගේ ඡන්දයෙන් තෝරා ගැනේ. එහෙත් එය අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ වෘත්තීමය වශයෙන් නිරතව සිටින ප්‍රවීන නිවේදක නිවේදිකාවන්ගෙන්, සහ ක්‍රිකට් ලේඛක ලේඛිකාවන්ගෙන් සමන්විත මණ්ඩලයක අනුමැතියට යටත්ව, තෝරාගනු ඇත. 

2024 අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ සම්මාන ලයිස්තුවට සම්මාන 12 ක් ඇතුළත් වේ. ඊට අමතරව වසරේ හොඳම කණ්ඩායම් 5 ක් ද මෙම විනිශ්චය මණ්ඩලය විසින් තෝරාගනු ලබයි. 

2025 ජනවාරි මස අග භාගයේදී 2024 වසරේ විශිෂ්ටතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලයිස්තුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. 


අදහස් (0)

නිර්දේශිත නාමාවලියට ශ්‍රී ලංකාවෙන් 4 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.