Last Update  :  2025-04-27 17:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International පෙර සූදානමක වාසි - අවාසි - අභියෝග
කාන්තා තුන්කොන් තරගාවලිය

පෙර සූදානමක වාසි - අවාසි - අභියෝග

editorial - 2025 අප්‍රේ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට (27 වැනිදා) ආරම්භ වන තුන්කොන් තරගාවලිය, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, “කාන්තා ලෝක කුසලාන තරගාවලිය සඳහා වන පෙර සූදානමකි”. එම තත්ත්වය කණ්ඩායම් තුනටම එකසේ බලපානු ඇත. කෙසේ වෙතත් මෙහිදී ශ්‍රී ලංකා කාන්තාවන් සතුවන වාසිය වන්නේ ලෝක ශ්‍රේණිගත කිරීම් අතරේ තමන්ට වඩා බොහෝ ඉහළින් සිටින ඉන්දියාව (03) සහ දකුණු අප්‍රිකාව (04) වැනි කණ්ඩායම් දෙකක් සමගින් ශ්‍රී ලංකාවේදීම තරග කිරීමට අවස්ථාව ලැබීමයි. 

කාන්තා ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ ඉන්දියාවේදී වන අතර ඒ සඳහා තවත් මාස 5 ක පහක පමණ කාලයක් තිබේ. 

මේ තත්ත්වය යටතේ, නවක මුහුණ 4 කින් සමන්විත ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඉන්දීය සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් හමුවේ තම ක්‍රීඩිකාවන්ගේ තරම බලාගත හැකි තරගාවලියක් ලෙසින් ‘සර්වෝ’ කුසලාන තුන්කොන් තරගාවලිය හැඳින්විය හැකිය. 

තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හෙට පෙරවරු 10.00 ට කොළඹ ආර්. පේ්්‍රමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. 

චමරි අතපත්තු ශ්‍රී ලංකා පිලේ සුපුරුදු නායිකාව වුවද, ක්‍රීඩිකාවන් 17 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට නවක ක්‍රීඩිකාවෝ සිව් දෙනෙක් ඇතුළත් වෙති. පියුමි වත්සලා, දෙව්මි විහංගා, රශ්මිකා සෙව්වන්දි සහ මල්කි මදාරා තවමත් එක්දින වරම් ලබා නොමැති ක්‍රීඩිකාවෝ වෙති. නවසීලන්ත සංචාරයට එක්නොවූ නමුත් පළපුරුදු ක්‍රීඩිකාවන් වන හසිනි පෙරේරා, ඉනෝකා රණවීර සහ හංසිමා කරුණාරත්න ද ශ්‍රී ලංකා කන්තා සංචිතයට යළි කැඳවා සිටිති. 

යළි කැඳවීමක් ලද ඉනෝකා රණවීර, මේ වන විට 39 වැනි වියේ පසුවන්නීය. එබැවින් මීළඟ ලෝක කුසලාන තරගාවලියේදී කණ්ඩායමේ ස්ථානයක් සොයාගැනීම සඳහා යොවුන් ක්‍රීඩිකාවන් හා සටනක් දීමට ඉනෝකාට සිදුවනු ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ක්‍රීඩිකාවන් හිඟ පාඩු වූ පසුගිය වසර 12 ක පමණ කාලයේදී එක්දින තරග 76 කදී කඩුලු 76 ක් දවාගැනීම සම්බන්ධයෙන් නම් ඉනෝකාට හිමි ප්‍රශංසාව කිසිවකුට අකා මකා දැමිය නොහැකිය. 

2022 දී ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකා කාන්තාවන්ට අහිමි විය. එහෙත් පසුගිය වසරේදී කාන්තා ලෝක ශූරතාවලියේ ප්‍රසාද ලකුණු පුවරුව අනුව 5 වැනි ස්ථානයට පත් ශ්‍රී ලංකා කණ්ඩායම 2025 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගත්තේය. එසේ වුවත් ලෝක කුසලාන තරගාවලියට යාමට පෙර ශ්‍රී ලංකා කාන්තාවන්ට විසඳාගත යුතු ප්‍රශ්න කිහිපයක් ම තිබේ. එහි වඩාත්ම බරපතළ තත්ත්වය වන්නේ ඉදිරි මාස 5 ක කාලය ඇතුළත ශ්‍රී ලංකා කාන්තාවන්ට එක්දින තරග නොමැති වීමයි. 

ඒ අනුව හෙට ආරම්භ වන ‘සර්වෝ’ කුසලාන තුන්කොන් තරගාවලිය, ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තාවන්ගේ අවසන් සූදානම වනු ඇත.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හමුවේ ඇති බරපතළම ප්‍රශ්නය වන්නේ නායිකා චමරි අතපත්තු අසාර්ථක වන අවස්ථාවේදී කණ්ඩායම ගොඩ ගන්නේ කවුරුන්ද යන්නයි. තවමත් තරුණ ක්‍රීඩිකාවක් වන ආරම්භක පිතිකාරිණි, විශ්මි ගුණරත්න කෙරේ යම් බලාපොරොත්තුවක් ඇතත්, එය සැම විටම ඉෂ්ඨ නොවන බවක් පෙනෙන්නට තිබේ. 

හර්ෂිතා සමරවික්‍රම සහ විශ්මි ගුණරත්න යන දෙදෙනාම පසුගිය වසරේ ශතක රැස් කළද අතපත්තු අසාර්ථක වන අවස්ථාවලදී මැද පෙළ පිතිකාරිණයන් අතුරින් අයකු හෝ දෙදෙනකුට කණ්ඩායමේ පිතිහරඹය ගොඩගැනීමේ බරට උරදීමට සිදුවනු ඇත.

මෙම වසරේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකයින් ලෙස ඉන්දියානු කාන්තාවන් මත ඇත්තේ තරමක් වැඩි පීඩනයකි. පසුගිය වි-20 ලෝක කුසලාන තරගාවලියේදී අවසන් පූර්ව වටයට පිවිසීමට ඔවුන් අසමත් වීමෙන් පසුව, ඉන්දියානුවන්ගේ මූලික ඉලක්කය වන්නේ ‘සර්වෝ’ කුසලාන තුන්කොන් තරගාවලිය ජයගැනීමයි. ඉන්දීය සමාගමක් වන ‘සර්වෝ’ සමාගම ඊට අනුග්‍රහය දක්වන්නේත් ඉන්දියානු කාන්තාවන්ගේ ඉලක්කය හොඳින්ම දැන සිටිමිනි. 

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රබලතම ක්‍රීඩිකවක් වන මෙරිසාන් කැප් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරගාවලිය සඳහා සහභාගි නොවේ. එහෙත් කරාබෝ මෙසෝ, ස්මිත් සහ නායිදු මංගල එක්දින තරගාවලිය සඳහා කැඳවීම් ලබා සිටිති. 

ක්‍රීඩාව කුමක් වූවත්, අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ හිමි ස්ථානය සහ කණ්ඩායමේ වත්මන් දස්කම් අතර එතරම් විශාල පරතරයක් නැත. ක්‍රිකට් වැනි ‘අවිනිශ්චිත’ ක්‍රීඩාවකදී එහි යම් පෙරළියක් සිදුවීමේ අවස්ථාවක් ඇති නමුත් ඕස්ටේ්‍රලියානු, එංගලන්ත සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම් වල දැනට පවතින ස්ථාවර තත්ත්වයන්ට අභියෝග කිරීම අසීරු කාරියකි. 

එබැවින් වඩාත් යථාර්ථවාදීව ගතහොත්, ‘සර්වෝ’ කුසලාන තුන්කොන් තරගාවලියේ ශූරතාව දිනාගැනීම කෙසේ වෙතත් අවසන් තරගයට හෝ පැමිණීමට ශ්‍රී ලංකා කාන්තාවන්ට ලැබුණහොත්, ශ්‍රී ලාංකිකයන්ටත්, ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් කිසියම් බලාපොරොත්තු සහගත හැඟීමක් ඇතිකරගත හැකිවනු ඇත. 


අදහස් (0)

පෙර සූදානමක වාසි - අවාසි - අභියෝග

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.