Last Update  :  2025-02-28 20:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International පාකිස්තානය පතුළටම ඇද වැටෙයි
ශූරයන්ගේ කුසලාන

පාකිස්තානය පතුළටම ඇද වැටෙයි

editorial - 2025 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 30 කට ආසන්න කාලයකට පසුව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන පෙළේ තරගාවලියක සත්කාරකත්වය බාරගත් නමුත් ශූරයන්ගේ කුසලාන තරගාවලියේ මූලික වටය නිමා වෙද්දී පාකිස්තානය ‘ඒ’ කාණ්ඩයේ පතුළටම වැටී සිටී. බංග්ලාදේශයට එරෙහිව අතර අද (27 වැනිදා) රාවල්පිණ්ඩි නුවරදී පැවැත්වීමට නියමිතව තිබූ ශූරයන්ගේ කුසලාන තරගය වර්ෂාවට සේදී යාම හේතුවෙන් පාකිස්තානු පිලට මෙම ඛේදජනක ඉරණම අත්වී තිබේ. 

ඊයේ රාත්‍රියේ සිටම පැවැති වර්ෂාව අද දිනයේත් පහව නොගියේය. වරින් වර වර්ෂාව නැවතුන නමුත් රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණය ගංවතුරට හසුවූ වෙල්යායක් මෙන් විය. 

ප්‍රසාද ලකුණු පුවරුවේ පතුළටම වැටුණ නමුත් පාකිස්තානය යනු අවසන් වරට (2017 දී) පැවැති ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගත් කණ්ඩායමයි. 

මූලික වටයේදී ‘ඒ’ කාණ්ඩයෙන් තරග කළ පාකිස්තානය නවසීලන්තය සහ ඉන්දියාව හමුවේ පරාජය විය. අද පැවැත්වීමට නියමිතව තිබූ බංග්ලාදේශ තරගය වර්ෂාවට සේදී යාමෙන් සිදුවූයේ සත්කාරකයන් වන පාකිස්තානුවන්ට තරගාවලියේ එකම ජයග්‍රහණයක හෝ සතුට විඳීමට අවස්ථාව නොලැබීමයි. 

පාකිස්තානය මෙන්ම බංග්ලාදේශයද ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයෙන් ඉවතට විසිවී තිබේ. අද තරගය පැවැත්වූයේ නම් එය සම්පූර්ණ වශයෙන්ම එක් එක් ක්‍රීඩකයන්ගේ පෞද්ගලික වාර්තා මෙන්ම ලෝකය පුරා වෙසෙන රූපවාහිනී ප්‍රේක්‍ෂකයන්ගේ සතුට සඳහා පමණක්ම වන්නට තිබිණ. 

“අපෙන් හුඟාක් දේවල් බලාපොරොත්තු වුණා. ඒත් අපි හරියට සෙල්ලම් කළේ නෑ. මේක විශාල කණගාටුවක්” යයි පාකිස්තානු නායක මොහොමඩ් රිස්වාන් පැවසීය. 

“අපි හොඳටම කණස්සල්ලෙන් ඉන්නේ. අපි හොඳින් සෙල්ලම් කළේ නෑ කියලා අපට පිළිගන්න වෙනවා. දැන් අපට කරන්න ඉතිරිවෙලා තියෙන්නේ එක දෙයයි. ඒ තමයි මින් ඉදිරියේදී හුඟාක් මහන්සිවෙලා, මීට වඩා හොඳින් සෙල්ලම් කරන එක” යයි පාකිස්තානු නායකයා වැඩිදුරටත් කීවේය. 

පාකිස්තානයට මෙන්ම බංග්ලාදේශයටද මෙම තරගාවලියේදී එකම ජයග්‍රහණයක් හෝ ලබාගත නොහැකි විය. ඔවුන්ට ලැබුණු එකම ප්‍රසාද ලකුණත් වර්ෂාව හේතුවෙනි. එහෙත් ඒ ගැන බංග්ලාදේශ නායකයාගේ නම් ප්‍රසාදයක් නොවීය. 

“අපිටත් ඇත්තටම තරගයක් ඕනෑ කළා. ඒත් කාලගුණය සම්බන්ධයෙන් අපට කරන්න පුළුවන් දෙයක් නෑ” යයි නජ්මුල් හොසේන් ශන්ටෝ පැවසීය. 

ප්‍රසාද ලකුණු පුවරුවේදී පාකිස්තානය පතුළටම වැටෙද්දී බංග්ලාදේශය තුන්වැනි ස්ථානයට පත්වූයේ ශුද්ධ ලකුණු වේගයේ අනුහසිනි. 

 - 213


අදහස් (0)

පාකිස්තානය පතුළටම ඇද වැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.