Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International පෙරළිකාර ඇෆ්ඝනිස්ථානය හැඬූ කඳුළින් ගෙදර යයි
විස්සයි-20 ලෝක කුසලාන

පෙරළිකාර ඇෆ්ඝනිස්ථානය හැඬූ කඳුළින් ගෙදර යයි

දමින්ද විජේසූරිය - 2024 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)  

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර ට්‍රිනිඩෑඩ්හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයේදී පැවැති පළමු අවසන් පූර්ව තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් ලැබූ දකුණු අප්‍රිකාව අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය. මින් පෙර 2009 සහ 2014 වසරවලදී අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට දකුණු අප්‍රිකාව සමත්ව ඇතත්, ඔවුන් අවසන් මහ තරගයකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 56 ක පහසු ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානුවෝ ඕවර 8.5 ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියහ. ආරම්භක පිතිකරු ක්වින්ටින් ඩි’කොක් ලකුණු 5 කට දැවී ගියද, රීසා හෙන්ඩ්‍රික්ස් පන්දු 25 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 29 ක්ද, නායක ඒඩ්න් මාක්‍රම් පන්දු 21 කදී හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 23 ක්ද රැස්කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්ථානයට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 11.5 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 56 ක් පමණි. එහිදී තබ්‍රේෂ් ශම්ෂි ලකුණු 6 කට කඩුලු 3 ක්ද, මාකෝ ජැන්සන් ලකුණු 16 කට කඩුලු 3 ක්ද බිඳහෙළූ අතර ඇ‍ෆ්ඝනිස්ථාන ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔවුන්ට අනගි සහායක් දුන් ඇන්රික් නොකියා සහ කගිසෝ රබාඩා කඩුලු 2 බැගින් දවාගත්හ.

එහිදී කිසිදු ඇෆ්ඝනිස්ථාන පිතිකරුවකුට ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඉඩක් ලබා නොදුන් අතර පිතිකරුවන් තිදෙනෙක්ම ලකුණු නොළබා දැවී ගිය අයුරුද දැකගත හැකි විය. පළමු සහ තෙවැනි ඕවරවලදී රහ්මනුල්ලා ගුර්බාස් (0) සහ ගුල්බදීන් නයිබ් (9) පිටියෙන් ඉවත් කළ ජැන්සන් දකුණු අප්‍රිකාව වෙනුවෙන් පළමු වෙඩි මුරය තැබූ අතර සිවුවැනි ඕවරයේදී ඊබ්‍රහීම් සද්‍රාන් (2) සහ මොහොමඩ් නබී (0) දවාගත් රබාඩා, ඇෆ්ඝනිස්ථානය තවත් අසීරු තත්ත්වයකට ඇද දැමුවේය.

පස්වැනි ඕවරය නිමාවට පත්වන විට ලකුණු 23 ක් ලබා සිටි ඇෆ්ඝනිස්ථානයට 5 වැනි කඩුල්ලත් හිමිව තිබූ අතර ඉන් අනතරුව පන්දුවට අතට ගත් නොකියා සහ ශම්ෂි පසු පෙළ පිතිකරුවන්ටද ලකුණු අතරට පැමිණීමට කිසිදු ඉඩක් ලබා නොදුන්හ. ඇෆ්ඝනිස්ථාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අස්මතුල්ලා ඔමර්සායිටද පන්දු 12 කදී හතරේ පහර 2 ක් සමග ලබාගත හැකි වූයේ ලකුණු 10 ක් පමණක් වීම කැපී පෙනුණ සිදුවීමක් බවට පත් විය.

 

ඇෆ්ඝනිස්ථානය - ඕවර 11.5 කදී සියලු දෙනා දැවී 56
(තබ්‍රේෂ් ශම්ෂි 06/3, මාකෝ ජැන්සන් 16/3, ඇන්රික් නොකියා 07/2, කගිසෝ රබාඩා 14/2) 

දකුණු අප්‍රිකාව - ඕවර 8.5 කදී කඩුල්ලක් දැවී 60   
(රීසා හෙන්ඩ්‍රික්ස් නොදැවී 29, ඒඩ්න් මාක්‍රම් නොදැවී 23)


අදහස් (0)

පෙරළිකාර ඇෆ්ඝනිස්ථානය හැඬූ කඳුළින් ගෙදර යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.