Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද ඩලස් නුවර ග්‍රෑන්ඩ් ප්‍රේරි ක්‍රීඩාංගණයේ සිට..)
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩලස් නුවර ග්‍රෑන්ඩ් ප්‍රේරි ක්‍රීඩාංගණයේදී අද (8 වැනිදා) පැවැති තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 2 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් විය. එදා මෙදා තුර ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් බංග්ලාදේශය හමුවේ පරාජයට පත්වූ පළමු අවස්ථාව ලෙසද මෙය ඉතිහාසයට එක් විය.
දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට පත්ව සිටි ශ්‍රී ලංකාව, මෙම තරගයේදී ලැබූ පරාජයත් සමග කබලෙන් ලිපට වැටුණු අතර මේ වන විට ඔවුන්ට තරගාවලියේ දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා පවතින අවස්ථාව කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නාක් මෙන් යැයි සඳහන් කළ හැකිය. ඒ සඳහා ශ්‍රී ලංකාව මූලික වටයේදී නේපාලයට සහ නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරග ජය ඉහළ ශුද්ධ ලකුණු වේගයක් රඳවාගනිමින් ජයගත යුතුය.
එපමණක් නොව ‘ඩී’ කාණ්ඩය යටතේ පැවැත්වෙන මූලික වටයේ සෙසු තරගවලින් දකුණු අප්‍රිකාව සහභාගි වන සියලු තරග ඔවුන් ජයගත යුතුවන අතර බංග්ලාදේශය සහ නෙදර්ලන්තය තරග දෙක බැගින් පරාජයට පත්විය යුතුය. එවිට ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ නෙදර්ලන්තය අතරින් ඉහළම ශුද්ධ ලකුණු වේගයට හිමිකම් කියන කණ්ඩායම ‘ඩී’ කාණ්ඩයේ අනු ශූරයන් ලෙස දෙවැනි වටයට සුදුසුකම් ලබනු ඇත.
ජයග්‍රහණය සඳහා ලකුණු 125 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ ක්‍රීඩකයෝ කඩුලු 8 ක් දැවී පන්දු 6 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරාගත්හ. ලකුණු 28 කට කඩුලු 3 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී ලිටන් දාස් (36) සහ තව්හිද් රිදෝයි (40) එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 38 කදී ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනගමින් බංග්ලාදේශ කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමූහ.
එම සම්බන්ධතාව බිඳ දමමින් රිදෝයි සහ දාස් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගැනීමට වනිඳු හසරංග සමත් වුවද, ඒ වන විට ඔවුන් දෙදෙනා සිය කණ්ඩාමේ ජයග්‍රහණය සඳහා කළ යුතුව තිබූ වැඩ කොටසින් හතරෙන් තුනක්ම නිමා කර තිබිණ. පන්දු 20 කට මුහුණදුන් රිදෝයි, වනිඳුගේ පන්දු හමුවේ හයේ පහර 4 ක් එල්ල කළ අතර ඉන් හයේ පහර 3 ක්ම ඔහු දැවී යෑමට පෙර මුහුණදුන් පන්දු 3 දී පිට පිටම එල්ල කළ හයේ පහර විය.
විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ නුවන් තුෂාර, සිය ඕවර 4 ලකුණු 18 කට සීමා කරමින් කඩුලු 4 ක් දවාගත්තේය. ලකුණු ලබාගැනීමටත් පෙරාතුව සෞම්‍ය සාකර්ගේ කඩුල්ල බිඳ දැමූ තුෂාර, නායක නජ්මුල් හොසේන්ටද වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ඉඩක් ලබා නොදුන්නේය. පිට පිටම යවන ලද පන්දු දෙකකදී රිෂාඩ් හොසේන් සහ ටස්කිස් අහමඩ් දවාගනිමින් 18 වැනි ඕවර ලකුණු 3 කට සීමා කිරීමද තුෂාර සමත් විය.
බංග්ලාදේශ නායකයාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 124 ක් පමණි. ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුණු කර දැමූ මුස්තෆිසුර් රහමන් (17/3) සහ රිෂාඩ් හොසේන් (22/3) කඩුලු 3 බැගින් දවාගත් අතර ඒ සඳහා ඔවුන්ට අනගි සහායක් දුන් ටස්කින් අහමඩ් ලකුණු 25 කට කඩුලු 2 ක් බිඳහෙළුවේය.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක, පන්දු 28 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 47 ක් ලබා සිටියදී මුස්තෆිසුර් රහමන්ගේ පන්දුවක් හමුවේ කවර් කලාපයේ පන්දු රකිමින් සිටි නජ්මුල් හොසේන් අතට උඩ පන්දුවක් දෙමින් අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියේය.
මුල් පෙළ පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස්ගේ ඉනිම පන්දු 8 කටත්, කමිඳු මෙන්ඩිස්ගේ ඉනිම පන්දු 5 කටත් සීමා වෙද්දී, ඉතා මන්දගාමී පිතිහරඹයක නිරත වූ ධනංජය ද සිල්වා පන්දු 26 කදී ලකුණු 21 ක් රැස්කළේ හතරේ පහරක් සමගිනි. පන්දු 21 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 19 ක් ලබා සිටි චරිත් අසලංක දැවී ගියේ ලකුණු ලබාගැනීමේ වේගය ඉහළ නැංවීම සඳහා ගත් උත්සාහයක් වැරදී යෑමෙනි.
දකුණු අප්‍රිකානු තරගයේදී අංක 4 ස්ථානයේ පන්දුවට පහර දෙමින් ලකුණු නොළබා දැවී ගිය වනිඳු, මෙම තරගයේදී මුහුණදුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේ අංක 6 ස්ථානයේ පන්දුවට පහර දෙමිනි. කණ්ඩායමේ ප්රවීනතම පිතිකරුවා වන ඇන්ජලෝ මැතිව්ස්ට (16) තමා මුහුණදුන් පන්දු 19 න් හතරේ සීමාවෙන් එපිටට යැවිය හැකි වූයේ එක් පන්දුවක් පමණි. යළිත් වරක් අසාර්ථක වූ දසුන් ශානකද පන්දු 7 කදී ලකුණු 3 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත්ව ගියේය.
Ranjith Saturday, 08 June 2024 01:53 PM
ඊළඟ වටයට යන්නේ දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශ්.. ටිකක් ඉවසලා ලකුණු 140ක් ගැහුවා නම් දිනුම්... අපිට එපාවෙලා තියෙන්නේ මැච් බැලිල්ල. පළමු මැච් එක අනාගත්තාම ඔහොම තමයි. ඔයාලා දක්ෂ නැතිව ඊළඟ වටයට ගියාට වැඩක් නෑ. මම නම් දන්නවා. ඊළඟ වටයට යන්නෙත් නෑ. නෙදර්ලන්තයෙනුත් කනවා.
Reply 0 0
sachith Saturday, 08 June 2024 08:00 PM
මේකට දාන්න ඕනෙ කමෙන්ට් තියෙනවා. හැබැයි ඒ කියන දේවල් මේකෙ පල කරන එකක් නෑ. මට අන්තිමට කියන්න තියෙන්නේ මේ වගේ ආත්මාර්ථකාමී කණ්ඩායමක් රට වෙනුවෙන් කියලා කරන්නේ එයාලගේ සෙල්ලමක්. මේ මැච් බලන වෙලාවේ ගිහින් මයියොක්කා කොටයක් හිටවන්න. කන්න හරි දෙයක් තියෙයි...
Reply 0 0
Cisco Sunday, 09 June 2024 01:54 PM
විනෝද චාරිකාවල යන අය ජය ගන්නේ නැහැ.. හා හා හා...
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.