Last Update  :  2025-04-17 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International බංග්ලාදේශ යොවුන් පිල 7දා ශ්‍රී ලංකාවේ

බංග්ලාදේශ යොවුන් පිල 7දා ශ්‍රී ලංකාවේ

editorial - 2021 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශ වයස 19 න් පහළ කණ්ඩායම සමගින් තරග 5 කින් සමන්විත යොවුන් එක්දින තරගාවලියක් ලබන මස 15 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු සංවිධානය කරමින් සිටී. ලබන මස 7 වැනිදා බංග්ලාදේශ වයස 19 න් පහළ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන අතර ජෛව ආරක්‍ෂිත බුබුළක් යටතේ තරගාවලිය පැවැත්වෙනු ඇත.

යොවුන් එක්දින තරග 5 පැවැත්වෙන ක්‍රීඩාංගණය පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත. මෙම තරග 5 ම බොහෝවිට එකම ක්‍රීඩාංගණයකදී පැවැත්වීමට ඉඩ තිබෙන අතර එය දඹුල්ල ක්‍රීඩාංගණය විය හැකි බවට නිල නොවන ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.

“බංග්ලාදේශ වයස 19 න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය බොහෝ කලකට පසු ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමට ජාත්‍යන්තර තරගාවලියකට එක්වීමට අවස්ථාවක්. ලබන වසරේ පැවැත්වෙන වසය 19 න් පහළ ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට අවශ්‍යය නිවැරදි සංයුතිය සොයා ගැනීමට මෙම තරගාවලිය අපට උපකාරී වෙනවා” යැයි ප්‍රධාන පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මහතා පැවසීය.

මේ අතර, අනාගත සංචාරයන් කෙරෙහි අවධානය යොමු කරමින් 26 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා වයස 19 න් පහළ සංචිතය මේ වන විට කොළඹදී නේවාසික පුහුණු වැඩසටහනකට එක්ව සිටී. සති තුනක් පමණ දිගින් දිගට පුහුණුවීම් කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලබන බදාදා ජෛව බුබුළෙන් නිදහස් වීමට නියමිතය.
සතියක පමණ විවේකයකින් පසුව ඔවුන් නැවත වරක් ජෛව බුබුළට එක්වීමට නියමිතය.

අවිශ්ක ගුණවර්ධන (ප්‍රධාන පුහුණුකරු), උපුල් චන්දන (පන්දු රැකීමේ පුහුණුකරු), සචිත් පතිරණ (දඟ පන්දු යැවීමේ පුහුණුකරු), චමිල ගමගේ (වේග පන්දු පුහුණුකරු) සහ ධම්මික සුදර්ශන (පිතිහරඹ පුහුණුකරු) යන මහත්වරුන් ලබන වසරේ පැවැත්වෙන වසය 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය අරමුණු කරගනිමින් සංචිතය පුහුණු කරමින් සිටිති. ඊට අමතරව ප්‍රියන්ත වික්‍රමසිංහ (භෞත චිකිත්සක) සහ බුද්ධික හේරත් (අභ්‍යාසක) යන මහත්වරුන්ද පුහුණු කාර්ය මණ්ඩලය සමගින් එක්ව සිටිති.

තරග කාලසටහන
ඔක්තෝබර් 15 - පළමු එක්දින තරගය
ඔක්තෝබර් 18 - දෙවැනි එක්දින තරගය
ඔක්තෝබර් 20 - තෙවැනි එක්දින තරගය
ඔක්තෝබර් 23 - සිව්වැනි එක්දින තරගය
ඔක්තෝබර් 25 - පස්වැනි එක්දින තරගය

- 2079


අදහස් (0)

බංග්ලාදේශ යොවුන් පිල 7දා ශ්‍රී ලංකාවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.