Last Update  :  2024-11-25 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International බංග්ලාදේශයේ ගෙල සිරවෙයි
ඇන්ටිගුවා ටෙස්ට් තරගය

බංග්ලාදේශයේ ගෙල සිරවෙයි

editorial - 2024 නොවැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(අන්තර්ජාතික වාර්තා ඇසුරිනි - සැකසුම : දමින්ද විජේසූරිය)

ජස්ටින් ග්‍රේව්ස් (නොදැවී 115) ලබාගත් මංගල ටෙස්ට් ශතකය නිසා ලකුණු 450 ක් ලබාගත් කොදෙව්වෝ ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අවසානයේදී බංග්ලාදේශයේ කර මුලින් අල්ලාගෙන සිටියහ. දෙවැනි දිනය අවසන් වන විට බංග්ලාදේශ පිලේ කඩුලු 2 ක් ලකුණු 40 කට ඇද වැටී තිබිණ. 

සත්කාරකයන්ට වඩා ලකුණු 410 ක් ඈතින් සිටින නමුත් බංග්ලාදේශය සතුව ඇත්තේ කඩුලු 8 ක් පමණි. 

පළමු දිනය අවසානයේදී කඩුලු 5 කට ලකුණු 250 ක් ලබා සිටි කොදෙව් පිලේ ජොෂුවා ද සිල්වා සහ අල්සාරි ජෝෂප් දෙදෙනාම ළඟ ළඟම දැවීයාම නිසා දෙවැනි දිනය වූ සෙනසුරාදා පෙරවරුවේදී සත්කාරකයෝ හදිසියේම අමාරුවේ වැටුණහ. ලකුණු තත්ත්වය කඩුලු 7 කට 261 ක විය. එහෙත් එතැන් සිට කෙමාර් රෝච් (47) සමගින් එක්වූ ජස්ටින් ග්‍රේව්ස් 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 140 ක සම්බන්ධතාවක් ගෙඩනැංවීය. වසර 15 ක් පුරා කොදෙව් පිල වෙනුවෙන් ක්‍රීඩා කරන කෙමාර් රෝච්ගේ හොඳම ටෙස්ට් පිතිහරඹය එයයි. ඒ වෙනුවෙන් ඔහු පැය හතරකට වැඩි කාලයක් පිටියේ සිටියේය. 

විනාඩි 374 ක් පුරා පිටියේ රැඳෙමින්, පන්දු 206 කට මුහුණ දුන් ග්‍රේව්ස්ගේ ඉනිමට ඇතුළත් වූයේ හතරේ පහර 4 ක් පමණි. ඉස්තරම් තත්ත්වයේ ඉවසීමක් එහි තිබිණ. විශේෂයෙන්ම ශතක පෙනි පෙනී ආපසු ක්‍රීඩාගාරයට ගිය මිකායිල් ලුවිස් (97) සහ ඇලික් අතාන්සේ (90) දෙදෙනාටම ග්‍රේව්ස්ගේ පිතිහරඹය කදිම පාඩමක් විය. කෙසේ වෙතත් කොදෙව්වන් හිස් ඔසවාගත්තේ මිකායිල් සහ ඇලික් දෙදෙනාගේ පිතිහරඹයෙනි. මක්නිසාද යත් බංග්ලාදේශ පන්දු යවන්නන් පසුබැස ගියේ මිකායිල් සහ ඇලික් දෙදෙනාගේ පිතිහරඹයෙනි. 

බංග්ලාදේශ පන්දු යවන්නන් වරින් වර කඩුලු දවාගත් නමුත් ඔව්හු එක පොදියට එක්කාසු වීමට අපොහොසත් වූහ. කොදෙව් පිතිකරුවෝ එයින් අනගි ප්‍රයෝජන ලබාගත්හ. 
බංග්ලාදේශ පිලේ කොදෙව් සංචාරයට ඇතුළත් ටෙස්ට් තරග සංඛ්‍යාව 2 කි. මෙම තරගාවලියත් ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් වන නමුත් බංග්ලාදේශය මෙන්ම කොදෙව් පිලද එහි අවසන් තරගයට පිවිසීම සම්බන්ධයෙන් බලාපොරොත්තු අතහැර දමා තිබේ. 

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු පුවරුව අනුව බංග්ලාදේශය 8 වැනි ස්ථානයේත් කොදෙව් පිල 10 වැනි ස්ථානයේත් සිටිති. 


බටහිර ඉන්දීය කොදෙව් - පළමු ඉනිම කඩුලු 9 ට 450 යි
(මිකයිල් ලුවිස් 97, කැවේම් හොජ් 25, ඇලික් අතාන්සේ 90, ජස්ටින් ග්‍රේව්ස් නොදැවී 115, ජොෂුවා ද සිල්වා 14, කෙමාර් රෝච් 47, ජේඩ්න් සීල්ස් 18, ජෙෂමාර් ජෝෂප් නොදැවී 11, හසන් මහමුද් 87/3, ටස්කින් අහමඩ් 76/2, මෙහෙදි හසන් මිරාස් 99/2)

බංග්ලාදේශය - පළමු ඉනිම කඩුලු 2 ට 40 යි
(සකීර් හසන් 15)


අදහස් (0)

බංග්ලාදේශයේ ගෙල සිරවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.