Last Update  :  2024-09-19 19:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International බෝලේ වෙනස් කළාම තරගයත් වෙනස් වුණා
1 වැනි ටෙස්ට් තරගය

බෝලේ වෙනස් කළාම තරගයත් වෙනස් වුණා

editorial - 2024 අගෝ මස 25 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ප්‍රධාන විනිසුරුවරුන් වන ක්‍රිස් ගැෆනි සහ පෝල් රයිෆල් දෙදෙනා පරණ පන්දු පෙට්ටිය රැගෙන ආ මයික් බර්න්ස් සමගින් සාකච්ඡා කරමින් සිටි අයුරු

 

(අන්තර්ජාතික වාර්තා ඇසුරිනි - සැකසුම : දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මැන්චෙස්ටර් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී එංගලන්තය කඩුලු 5 ක ජයක් අත්කරගත් නමුත් තරගය විවාද සම්පන්න සිදුවීම් වලින් තොර නොවීය. ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ 42 වැනි ඕවරයේදී පන්දුව මාරු කිරීමත් සමගින් තරගය සම්පූර්ණයෙන්ම වෙනස් වූ බව ඊයේ තරගය අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය. 

“ඇත්තම කියනවා නම් ඒක මහ අවාසනාවන්ත සිද්ධියක්”

“ඊයේ (23 වැනිදා), බෝලේ මාරු කරන්න ඉස්සරවෙලා, අපි හොඳ තැනක හිටියේ. මා හිතන්නේ ඒ පන්දුව මාරු කිරීමෙන් සිද්ධ වණේ දෙපිලේම ක්‍රීඩකයන්ට අසාධාරණයක්. මොකද (ශ්‍රී ලංකාවේ) පිතිකරුවන්ට ඕනෑ වුණේ බෝලේ තිබුණ දිස්නයයි දැඩි ගතියයි දෙකින්ම මිදෙන්න. 41 වැනි ඕවරය වෙනකොට අපි ඔවුන්ට (එංගලන්ත පන්දු යවන්නන්ට) ඉතාම පහසුවෙන් මුහුණ දෙමින් හිටියේ” යයි මැතිව්ස් ‘ටෙස්ට් මැච් ස්පෙෂල්’ සේවයට පැවසීය. 

‘ටෙස්ට් මැච් ස්පෙෂල්’ යනු බි්‍රතාන්‍ය ගුවන් විදුලි සේවයට අයත් ක්‍රීඩා පුවත් විකාශනය වෙනුවෙන්ම කැපවූ ගුවන් විදුලි සේවාවයි. 
1957 දී ආරම්භ කරන ලද ‘ටෙස්ට් මැච් ස්පෙෂල්’ සේවය මගින් සෑම ටෙස්ට් තරගයකදීම පන්දුවෙන් පන්දුව විස්තර විචාරය කරන ලද අතර පසු කලෙක එහි සේවය එක්දින අන්තර්ජාතික තරග සහ විස්සයි-20 තරග වෙතද දිගහැරුණු නමුත් එහි සන්නාමය ‘ටෙස්ට් මැච් ස්පෙෂල්’ ලෙසින්ම පවත්වා ගැනිණ. 

“ඒත් බෝලේ වෙනස් කළාම, මා හිතන්නේ සම්පූර්ණ තරගයේම තාලය වෙනස් වුණා. ඒක (බෝලේ) දෙපැත්තටම දෝලනය වෙන්න ගත්තා විතරක් නෙමේ කැපිලා ඇතුළට එන්නත් ගත්තා. ඒක හරිම අමාරු තත්ත්වයක්”

“පිතිකරුවන්ට ඕනෑ වුණේ පන්දුවේ තිබුණ දැඩි බව අයින් කරගන්න. ඒත් අවාසනාවකට වගේ බෝලේ වෙනස් කළාම බෝලේ දෝලනය වෙන්න ගත්තා විතරක් නෙමේ තරගයේ මුහුණුවර එහෙම පිටින්ම වෙනස් කළා” යයි ද මැතිව්ස් ‘ටෙස්ට් මැච් ස්පෙෂල්’ ගුවන් විදුලි සේවයට කීවේය. 

පන්දුව වෙනස් කරන ලද්දේ පිටියේ විනිසුරුවරුන් වන ක්‍රිස් ගැෆනි සහ පෝල් රයිෆල් යන විනිසුරුවරුන් දෙදෙනාගේම අනුමැතිය ඇතිවය. 42 වැනි ඕවරය  ආරම්භ කිරීමට පෙර පන්දුව වෙනස් කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 146 ක් ලබා සිටි අතර ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 59) සහ කමිඳු මෙන්ඩිස් (නොදැවී 33) අතර අඛණ්ඩ සම්බන්ධතාව ලකුණු 51 ක් විය. 

42 වැනි ඕවරය යැවූයේ පිට දඟ පන්දු යවන ෂොයිබ් බෂීර් විසින් වුවද 43 වැනි ඕවරයේ සිට වේග පන්දු යවන්නෝ පන්දුව අතට ගත්හ. පන්දුව වෙනස් කිරීමෙන් පසුව තරගයේ වාසිය සම්පූර්ණයෙන්ම පාහේ එංගලන්තය වෙත නැඹුරු විය. පන්දුව වෙනස් කිරීමට පෙර කඩුලු 4 කට ලකුණු 146 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව ඕවර 14 ක් ඇතුළත කඩුලු 6 ට 190 ක් ලෙසින් වෙනස් විය. මැතිව්ස් ලකුණු 65 කට දැවී ගියේය. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයා මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ වසර 16 ක අත්දැකීම් ඇති, ටෙස්ට් තරග 110 ක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස්ගේ මතය වන්නේ පන්දුව වෙනස් කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත් අහිතකර ලෙසින් බලපෑ බවයි. 


අදහස් (1)

බෝලේ වෙනස් කළාම තරගයත් වෙනස් වුණා
  • Thisara Monday, 26 August 2024 09:40 PM

    ඇත්ත තමයි... අඩුම ගාණේ ඕවර 40ක් පාවිච්චි කරපු බෝලයක් දෙන්න තිබ්බා. මැතිව්ස් හරි. මොකද එයා තමයි ජ්‍යෙෂ්ඨම ක්‍රීඩකයා.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.