Last Update  :  2025-01-02 21:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International මධුෂ්ක - අසලංක ශ්‍රී ලංකාව එතෙර කරති
1 වැනි එක්දින තරගය

මධුෂ්ක - අසලංක ශ්‍රී ලංකාව එතෙර කරති

editorial - 2024 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය පල්ලෙකැලේ සිට...)

කොදෙව්වන් ලබාගත් ලකුණු 185 හමුවේ තරගය ජයගන්නට ලකුණු 232 ක් රැස්කරන ලෙස කී කල්හි ඇතැම් ප්‍රේක්‍ෂකයෝ විපිළසර වූහ. 

“කරුණාකරලා ඩක්වර්ත් - ලුවිස් න්‍යාය යයි කියන්නේ මොකක්ද කියලා පැහැදිළි කරනවා ද ?” ඔව්හු විචාළහ. එහෙත් වෘත්තීය මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් වන ශ්‍රී ලංකා කණ්ඩායම සිය සුපුරුදු ශ්‍රී ලාංකීය තරග රටාවට පිවිසෙමින් පල්ලෙකැළේදී අද පැවැති පළමු වැනි එක්දින තරගයේදී කඩුලු 5 ක විශිෂ්ට ජයක් අත්කර ගත්තේ තරග 3 කින් සමන්විත තරගාවලියේදී 1-0 ක් ලෙසින් පෙරමුණ ගනිමිනි.

කොදෙව් ඉනිම අතරමැද දී ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් පැය තුන හමාරක පමණ කාලයක් අපතේ ගිය නමුත් ශ්‍රී ලංකා පිතිකරුවෝ පන්දු 31 ක් ඉතිරිව තිබියදීම තරගය ජයගත්හ. 

ඉලක්කයක් කරා යාම ඇරඹූ සැණින් අවිශ්ක ප්‍රනාන්දු දැවී ගියේය. ලකුණු 45 ක් ඇතුළත ඉදිරි පෙළ කඩුලු තුනක්ම දැවී යාමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තවත් අමාරුවේ වැටුණේ ඊළඟ වර්ෂාවක් ඇතිවූයේ නම් නැවත වරක් ඩක්වර්ත් ලුවිස් න්‍යායේ අභියෝගයට මුහුණ දීමට සිදුවන බැවිනි. එම අභියෝගයට විශිෂ්ට ලෙසින් මුහුණ දුන් නිශාන් මධුෂ්ක (69) සහ චරිත් අසලංක (77) සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 137 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඒදණ්ඩෙන් එතෙර කළහ. 

සිය මංගල එක්දින තරගයේදී ජයග්‍රාහී පිතිහරඹයක නිරත වූ නිශාන් මධුෂ්ක පන්දු 54 කට මුහුණ දුන්නේ ඒවායින් හතක් හතරේ සීමාවෙන් එපිටටත් තවත් එකක් ඊට ඉහළිනුත් යවමිනි. මධුෂ්කගේ ඉනිමේ වැදගත්කම වූයේ අනෙක් අන්තයේ පිතිකරුවන් දැවී යද්දීත් අද තරගය වෙනුවෙන් තමන්ට බාර දුන් කොටස නොපිරිහෙළා සම්පූර්ණ කිරීමයි. 

චරිත් අසලංකට නම් මෙවැනි ඉනිම් හොඳට හුරුය. නිශාන් මධුෂ්ක අනෙක් අන්තයේ ස්ථාවරව සිටින බව වටහාගත් නායකයා, අවදානම කරට ගනිමින් කොදෙව් පන්දු යවන්නන්ට පහර පිට පහර දුන්නේ ඩක්වර්ත් - ලුවිස් ප්‍රස්ථාරයේ ඉහළින් සිටිය යුතු වූ බැවිනි. පන්දු 44 කින් සිය 13 වැනි එක්දින  අර්ධ ශතකය ලබාගත් වමත් පිතිකරුවාගේ ඉනිම හතරේ පහර 8 කින් සහ හයේ පහර 3 කින් සමන්විත විය. 

කාසියේ වාසිය දිනාගැනීමෙන් පසුව පිතිහරඹය තෝරාගත් නමුත්, දඟ පන්දු යවන්නන් පස් දෙනකු සමගින් පිටියට පිවිසි ශ්‍රී ලංකා පිල හමුවේ කොදෙව්වෝ අසරණ වූහ. කොදෙව්වන් පළමු ඕවර 7 න් ලකුණු 34 ක් ලබාගත්තද, වනිඳු හසරංග සිය මුල්ම පන්දුවේදී බ්‍රැන්ඩන් කිං දවාගැනීම නිසා කොදෙව්  ඉනිම ඉරිතලා ගියේය. 

කෙසේ වෙතත් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 85 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැංවූ ශර්ෆේන් රදර්ෆර්ඩ් (නොදැවී 74) සහ රොස්ටන් චේස් (නොදැවී 33) දෙදෙනා එක්ව කොදෙව් පිල සටන්කාමී තත්ත්වයකට කැඳවාගෙන ආහ. ලකුණු 20 ක් ඇතුළත බ්‍රැන්ඩන් කිං, ඇලික් අතානාසේ සහ ශායි හෝප් තිදෙනාම දැවී ගිය නමුත් ශර්ෆේන් රදර්ෆර්ඩ් නොබියව සටනට වන්නේය. 

වර්ෂාවෙන් ඇතිවියහැකි බාධාවකදී ඩක්වර්ත් - ලුවිස් න්‍යාය මගින් ඇතිකරනු ලබන පීඩනයට මුහුණ දීම සඳහා කොදෙව් පිතිකරුවෝ 26 වැනි ඕවරයෙන් පසුව ලකුණු ලබාගැනීමේ වේගය වැඩිකළහ. කොදෙව්වෝ වර්ෂාව නිසා තරගය නතර කරන විට ඕවර 38.3 කදී කඩුලු 4 කට ලකුණු 185 ක් ලබා සිටියහ. 

කේසි කාර්ටි (23) සමගින් එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 46 ක් එක්කිරීම සඳහා පන්දු 75 ක් අවශ්‍ය වූ නමුත් වර්ෂාව එන ලකුණු පහළ වීමත් සමගින් කොදෙව් පිතිකරුවෝ පරළ වූහ. 25 වැනි ඕවරයෙන් පසුව මුහුණ දුන් ඕවර 13 න් ඔව්හු ලකුණු 91 ක් ලබාගත්හ. 

දෙපිල අතර දෙවැනි එක්දින තරගය මේ මස 23 වැනිදා පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙයි. එයද දිවා/රාත්‍රී තරගයකි. 

 

 


අදහස් (0)

මධුෂ්ක - අසලංක ශ්‍රී ලංකාව එතෙර කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.