Last Update  :  2024-09-19 19:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International මැතිව්ස් - කමිඳු ශ්‍රී ලංකා ඉනිමට මුක්කු ගසති
1 වැනි ටෙස්ට් තරගය

මැතිව්ස් - කමිඳු ශ්‍රී ලංකා ඉනිමට මුක්කු ගසති

editorial - 2024 අගෝ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලකුණු 122 ක අවාසියක් අබිමුව තිබියදීත් දෙවැනි ඉනිමේදී ලකණු 10 ක් ඇතුළත කඩුලු දෙකක්ම අහිමි කරගෙන සිටි ශ්‍රී ලංකා පිතිකරුවෝ, මැන්චෙස්ටර් නුවරදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය (23 වැනිදා) නිමාවට පත්වන විට කඩුලු 6 ක් දැවී ලකුණු 204 ක් රැස්කරමින් යම් තරමකින් හිස එසවීමට සමත් වූහ. 

තරගයේ තවත් දින දෙකක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් අතැතිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට වඩා ලකුණු 82 ක් ඉදිරියෙන් සිටියි. තෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට කමිඳු මෙන්ඩිස් හයේ පහරක් සහ හතරේ පහර 6 සමග ලකුණු 56 ක්ද, දිනේෂ් චන්දිමාල් හතරේ පහරක් සමග ලකුණු 20 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. 

මුහුණ දුන් තුන්වැනි පන්දුවම නිදැල්ලේ යැවීමට නිශාන් මධුෂ්ක තීරණය කළද, පිට ඉන්නට ආසන්නව පතිත වූ පන්දුව, ඔහු අපේක්‍ෂා කළාට වැඩියෙන් දෝලනය වෙමින් කඩුල්ලට කඩා වැදුණේය. කුසල් මෙන්ඩිස් මුහුණ දුන්නේ පන්දු 4 කට පමණි. ගස් ඇට්කින්සන්ගේ මුල්ම ඕවරයේ සිව්වැනි පන්දුව, කඩුලු රකින්නාගේ අත් ආවරණ අතරේ සැඟවී යාමට පෙර මෙන්ඩිස්ගේ පිත්තේ පිටත දාරය සොයාගෙන තිබිණ. 

මුල් ඉනිමේදී ලකුණු 06 කට කඩුල 3 ක් අහිමි කරගත් ශ්‍රී ලංකා පිතිකරුවෝ දෙවැනි ඉනිමේදී එක ලකුණකට කඩුලු 2 ක් අහිමි කරගත්හ. ඇන්ජලෝ මැතිව්ස් සමග එක්ව තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 50 ක් එක් කිරීමෙන් අනතුරුව දිමුත් කරුණාරත්න ලකුණු 27 කට දැවී යෑමත් සමග ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 52 කට කඩුලු 3 ක් බවට පත් විය. 

ලකුණු 10 ක් ලබා සිටියදී පන්දුවක් ඇඟිල්ලේ වැදීමෙන් ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්ව ගිය දිනේෂ් චන්දිමාල් යළි පිටියට පිවිසියේ ශ්‍රී ලංකා ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙස මිලාන් රත්නායක දැවී යෑමෙන් අනතුරුවය. ඒ අතරවාරයේ ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා (11) සහ ඇන්ජලෝ මැතිව්ස් (65) ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. මැතිව්ස්ගේ 42 වැනි ටෙස්ට් අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය. 

ජැමී ස්මිත්ගේ මංගල ටෙස්ට් ශතකය නිසා එංගලන්තය සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 358 ක් ලබාගත්තේය. ගස් ඇට්කින්සන්, මැතිව් පොට්ස් සහ මාක් වුඞ් තිදෙනාගේ සම්මාදම නිසා අවසන් කඩුලු 4 වෙනුවෙන් එංගලන්තයට ලකුණු 119 ක් එක්විය. එංගලන්ත මුල් ඉනිම ලකුණු 358 කට සීමා කිරීමේදී අසිත ප්‍රනාන්දු (103/4), විශ්ව ප්‍රනාන්දු (73/2) සහ ප්‍රභාත් ජයසූරිය (85/3) අගනා පන්දු යැවීමක නිරත වූහ. 

විශ්වගේ නමට ඉදිරියෙන් සටහන් වූ කඩුලු සංඛ්‍යාවට වඩා සාර්ථක පන්දු යැවීමක් ඔහුගෙන් දක්නට ලැබිණ. විශේෂයෙන්ම අසිත සහ ජයසූරිය දෙදෙනාට කඩුලු ලැබුණේ විශ්ව පිතිකරුවන් වෙත පවත්වාගෙන ගිය පීඩනය හේතුවෙනි. ඕල්ඞ් ට්‍රැෆර්ඞ් තණතීරුවේ, ටෙස්ට් තරගයක දෙවැනි දිනයේදීම කඩුලු 3 ක් දවාගත් ප්‍රභාත් ජයසූරිය පන්දු යැවීමේදී පවත්වාගෙන ගිය පාලනය විශිෂ්ට මට්ටමක තිබිණ. පන්දුව නිසි තැන පතිත කරමින් පිතිකරුවන් ඇද බැඳ තබාගත් ජයසූරිය, මෙම තරගාවලියේදී තමනට මීට වඩා දෙයක් කළ හැකි බව මොනවට කියා දුන්නේය. 


-036


අදහස් (0)

මැතිව්ස් - කමිඳු ශ්‍රී ලංකා ඉනිමට මුක්කු ගසති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.