Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International මෙන්ඩිස්ට ස්ථානය අහිමි වෙයි
ලෝඩ්ස් ටේස්ට් තරගය

මෙන්ඩිස්ට ස්ථානය අහිමි වෙයි

editorial - 2024 අගෝ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සාදි තව්ෆීක් - ලන්ඩන් නුවර සිට)

දිගින් දිගටම අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් කණ්ඩායමෙන් ඉවත් කරමින් වසර දෙකක් පුරා ටෙස්ට් පිටියෙන් ඉවත්ව සිටි පැතුම් නිශ්ශංක නැවත වරක් කණ්ඩායමට කැඳවා තිබේ. ලන්ඩන් නුවර ලෝඩ්ස් පිටියේදී අද (29 වැනිදා) ආරම්භ වන දෙවන ටෙස්ට් තරගය සඳහා නම්කරන ලද 11 දෙනා අතරට පැතුම් නිස්සංක ඇතුළත් කර තිබේ. 

මෙන්ඩිස් දිගු කලක් තිස්සේ කණ්ඩායමේ රඳවාගත් නමුත් ටෙස්ට් කණ්ඩායමේ ස්ථානය තවදුරටත් රැකගැනීමට තරම් දෙයක් ඔහු කර නැත. වත්මන් එංගලන්ත සංචාරයේ පුහුණු තරඟයේදී ලකුණු 12 ක් සහ 3 ක් පමණක් ලබාගත් කුසල් මෙන්ඩිස්, පළමු ටෙස්ට් තරඟයේදී ලකුණු 24 කට සහ 0 කට දැවී ගියේය. විශේෂයෙන් පැතුම් නිස්සංක සහ කමිඳු මෙන්ඩිස් වැනි තරුණ ක්‍රීඩකයින්ගෙන් දැඩි පීඩනයක් එල්ල වෙද්දීත් කණ්ඩායමේ ස්ථානය රැකගැනීමට කුසල් මෙන්ඩිස් සමත් වී නැත. 

සිය මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් ලබාගත් පැතුම් නිස්සංක, ටෙස්ට් තරග නවයකට ක්‍රීඩා කිරීමෙන් පසුව ඔහුගේ සාමාන්‍ය 38.35 ක් ලෙසින් සටහන් වී තිබිණ. ඔහු ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් ඉවත් වූයේ එවකට පළමු පෙළ තරග සම්බන්ධයෙන් ඔහු තුළ තිබූ උනන්දුව අඩුකම හේතුවෙනි. 

පසුව ඔහු තමාටම ආවේණික පන්දුවට පහරදීමේ රටාවකට අවතීර්ණ වූ අතර සීමිත ඕවර ක්‍රිකට් ක්‍රීඩාවේදී වඩාත් කැමති තේරීමක් බවට පත්විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ පළමු ද්විත්ව ශතකය ලබා ගත් පැතුම් නිස්සංක, ශතක තුනක් සහ අර්ධ ශතකයක් ද  ඇතුළුව ලකුණු 598 ක් (සාමාන්‍ය 74.75) ලබා ගනිමින් මෙම වර්ෂය සඳහා එක්දින ආකෘතියේ වැඩිම ලකුණු ලාභියා වී සිටී. ඔහුගේ අන්තර්ජාතික දස්කම් ලෙහෙසියෙන් පසෙකට දැමිය නොහැකිය. 

“සමස්තයක් වශයෙන් ගත්තාම මේ මොහොතේ රටේ සිටින හොඳම පිතිකරුවා පැතුම්” යැයි ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා පැවසීය. 

“ඔහුට ඉතාමත් හොඳ මානසික සූදානමක් තියෙනවා වගේම පිතිකරුවකු වශයෙන් හොඳ තාක්‍ෂණයකුත් තියෙනවා. එයාව කණ්ඩායමට ගන්න එක ලොකු දෙයක්. අපි දැන් කාලෙක ඉඳන් ඒ ගැන කතා කරනවා. මම හිතන්නේ ඔහු ඕනෑම ආකෘතියකට හැඩ ගැසේවි කියලයි” යයි ධනංජය වැඩිදුරටත් පැවසීය. 

පළමු ටෙස්ට් තරගයේ ඉනිම දෙකේදීම ශ්‍රී ලංකාවේ මුල් පෙළ පිතිකරුවෝ අසාර්ථක වූහ. 
මුල් ඉනිමේදී ලකුණු 06 කට කඩුලු 3 ක් දැවී ගිය අතර දෙවැනි ඉනිමේදී ලකුණු 01 කට කඩුලු 2 ක් දැවී ගියේය. එවන් තත්වයක් යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමට වෙනස්කම් අවශ්‍ය වන අතර ලෝඩ්ස් ටෙස්ට් තරගයේදී දිමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංක ඉනිම ආරම්භ කිරීමට සූදානම් වෙති. කරුණාරත්නගේ ආරම්භක සගයා වූ නිශාන් මධුෂ්ක, කලින් කුසල් මෙන්ඩිස් සිටි අංක තුන ස්ථානයේ ක්‍රීඩා කරනු ඇත. 

දිනේෂ් චන්දිමාල් තවමත් කඩුලු රැකීමට සියයට සියයක්ම යෝග්‍යතාවයෙන් නොසිටින බැවින් කඩුල්ල පිටුපස කාර්යය නිෂාන් මධුෂ්ක විසින් බාරගනු ඇත. පළමු ටෙස්ට් තරගයේදී එංගලන්ත පළමු ඉනිමේ පිතිකරුවන් හතර දෙනෙකු දවාගත් නමුත් චන්දිමාල් පන්දුවට පහර දෙමින් සිටියදී මාර්ක් වුඩ්ගේ වේග පන්දුවකින් ඔහුගේ දකුණු අතේ මාපටැඟිල්ල තුවාල විය. කෙසේ වෙතත් ඔහු පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කරනු ඇත. 

ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් සෙසු පිතිකරුවෝ ලෙසින් සිටිති. 

විශ්ව ප්‍රනාන්දු වෙනුවට ළහිරු කුමාර අද තරගය සඳහා කැඳවා තිබේ. ළහිරු කුමාර සතු අතිරේක වේගය මෙම කැඳවීමට ප්‍රධාන හේතුවක් වන අතර මැන්චෙස්ටර් තරගයේදී එංගලන්තය ඉලක්කය හඹා යන අතරතුර ඕවරයකට ලකුණු හයකට ආසන්න සංඛ්‍යාවක් දුන් විශ්වට කඩුල්ලක් දවාගැනීමට නොහැකි විය. ඇරත් බංග්ලාදේශයේදී පැවැති ටෙස්ට් තරගාවලියේදී  විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ළහිරු කුමාර ශ්‍රී ලංකාවට 2-0 ක් ලෙස තරගාවලිය ජය ගැනීමට උදව් කළේ එකකට ලකුණු 12.63 ක් බැගින් කඩුලු 11ක් දවා ගනිමිනි.

එකම විශේෂඥ දඟ පන්දු යවන්නා ලෙස ප්‍රභාත් ජයසූරිය කටයුතු කරයි.

ශ්‍රී ලංකාව ලෝඩ්ස් පිටියේ ටෙස්ට් තරගයක් ජයගෙන නොමැත. කෙසේ වෙතත් මේ අවස්ථාවේදී ලෝඩ්ස් පිටියේ තරගය ජයගැනීමටත් තරග තුනකින් සමන්විත තරගාවලිය 1-1 ලෙස සම කිරීමටත් තමන් හොඳ තත්ත්වයක සිටින බව ශ්‍රී ලංකා කණ්ඩායම විශ්වාස කරයි.

“අපි මේ තරගයට පිවිසෙන්නේ වැඩි ආත්ම විශ්වාසයකින්”

“අපි ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හිදීත් විශ්වාසයෙන් සිටියා වුණත් අපිට අවශ්‍ය දේ කරගැනීමට අපි අසමත් වුණා. අපි අපේ සැලසුම් සමඟ පැහැදිලිව ක්‍රියාත්මක කරගත යුතුවෙනවා වගේම පළමු ඉනිමේදී වඩාත් හොඳින් පන්දුවට පහර දිය යුතුයි” යයි ධනංජය ද සිල්වා පැවසීය.

ඩේලි එෆ්.ටී. ඇසුරිනි

අනුවාදය - දමින්ද විජේසූරිය


අදහස් (0)

මෙන්ඩිස්ට ස්ථානය අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.