Last Update  :  2024-09-19 19:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International රූට් - ස්මිත් එංගලන්තය දිනවති
1 වැනි ටෙස්ට් තරගය

රූට් - ස්මිත් එංගලන්තය දිනවති

editorial - 2024 අගෝ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ලකුණු 204 ක් ආරක්‍ෂාකර ගැනීමේ අභියෝගයකට මුහුණ දුන් නමුත් ධෛර්ය සම්පන්නව සිය අරමුණ කරා ඇදුණු ශ්‍රී ලංකා කණ්ඩායම, මැන්චෙස්ටර් නුවර ඕල්ඞ් ට්‍රැෆර්ඞ් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ අද (24 වැනිදා) තේ පානය සඳහා ක්‍රීඩාව නතර කරන විට එංගලන්ත දෙවැනි ඉනිමේ කඩුලු 3 ක් බිම දමාගෙන තිබිණ. එහෙත් තේ පානයෙන් පසුව තරගයේ වාසිය තමන්ගෙන් ගිළිහී යාමට නොදුන් ජෝ රූට් (නොදැවී 62) සහ ජැමී ස්මිත් (39) පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 64 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් එංගලන්තය කඩුලු 5 ක පහසු ජයක් කරා කැඳවාගෙන ගියහ. 

තරගයේ සම්පූර්ණ දිනයක් ඉතිරිව තිබියදීම ලබාගත් මෙම ජයග්‍රහණයත් සමගින් එංගලන්තය තරග 3 කින් සමන්විත තරගාවලියේදී 1-0 ක් ලෙසින් පෙරමුණ ගත්තේය. 

තරගය පරාජය වූ නමුත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අතරේ 3 වැනි ස්ථානයේ සිටින කණ්ඩායමක ගෙමිදුලට ගොසින් ඔවුන් හා කරට කර සටනක යෙදුණු ශ්‍රී ලංකා ක්‍රීඩයන්ට තමන් ගැන සෑහීමට පත්වීමට ඕනෑ තරම් කරුණු කාරණා තිබිණ. 

තරගය ආරම්භයේදීම ලකුණු 06 කට කඩුලු 3 ක් අහිමි කරගත් ශ්‍රී ලාංකිකයෝ මුල් ඉනිමේදී ලකුණු 122 ක අවාසියකට මුහුණ දුන්හ. එහෙත් දෙවැනි ඉනිමේදී කළ ධෛර්ය සම්පන්න පිතිහරඹයකට පසුව එංගලන්තයට දුන්නේ ලකුණු 205 ක ඉලක්කයකි. 

ඒ කරාත් පහසුවෙන් යාමට අවසර නොදුන් ඔව්හු එංගලන්ත පිතිකරුවන්ගේ නළලත රැළි නැංවූ නමුත් ලෝකයේ ටෙස්ට් පිතිකරුවන් අතර අංක 1 හිමි ජෝෂප් එඞ්වඞ් රූට් (ජෝ රූට්) තම කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියේ ශ්‍රී ලාංකික පන්දු යවන්නන් කෙරේ ඔහු දක්වන සුවිශේෂී ලැදියාව තවදුරටත් තහවුරු කරමිනි. 

ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග 11 ක ඉනිම 20 කදී ජෝ රූට් ලබා සිටින ලකුණු සංඛ්‍යාව 1,104 ක් වන අතර ශ්‍රී ලාංකික පන්දු යවන්නන් හමුවේ ඔහුගේ ඉනිමක සාමාන්‍යය 60.61 කි. ටෙස්ට් ලකුණු 12,131 කට හිමිකම් කියන ජෝ රූට් අද ලබාගත්තේ ඔහුගේ 64 වැනි ටෙස්ට් අර්ධ ශතකයයි. 

තේ පානයට පෙර ප්‍රභාත් ජයසූරිය (36/1) සහ මිලාන් රත්නායක (18/1) හොඳ පන්දු යැවීමක නිරතව සිටි අතරම එංගලන්තයේ සිටින හොඳම පිතිකරුවන් දෙදෙනා වන ජෝ රූට් (නොදැවී 13) සහ හැරී බෲක් (නොදැවී 06) ඉතාමත් පරෙස්සමෙන් පන්දුවට පහර දෙමින් සිටියහ. ඒ වන විට තරගයේ වාසිය වරින් වර දෙපිලටම එබිකම් කරමින් දෙපිල අතර සමාන්තර රේඛාවක ගමන් කළ නමුත් හැරී බෲක්ගේ දැවීයාමෙන් පසුව එක්වූ රූට් සහ ජැමී ස්මිත් දෙදෙනා  එය තමන් වෙත ඇද බැඳ තබාගත්හ. 

ජයග්‍රහණය අත පොවන මානයේ තිබියදී ජැමී ස්මිත් දැවී ගිය නමුත් මුල් ඉනිමේදී ශතකයක් (111) ලබාගනිමින් එංගලන්තය පෙරමුණට ගෙනා ක්‍රීඩකයා ඔහුම විය. 

මොහොතින් මොහොත එංගලන්තයේ ජයග්‍රහණය ප්‍රමාද කරමින්, ඔවුන්ව පසුපසට තල්ලු කළ කමිඳු මෙන්ඩිස් (113) සහ දිනේෂ් චන්දිමාල් (79) දෙදෙනා, දෙවැනි ඉනිමේදී ලකුණු 326 ක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවාගෙන ගියහ. ඊයේ සවස රෝහලේ සිට පැමිණ පිතිහරඹයට එක්වූ දිනේෂ් චන්දිමාල් සහ කමිඳු මෙන්ඩිස් අතර හත්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 117 ක් තරම් දීර්ඝ විය. 

ඇන්ජලෝ මැතිව්ස් සහ කමිඳු මෙන්ඩිස් එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ඊයේ එකතු කළ ලකුණු 78 ක සම්බන්ධතාවට පින්සිදු වන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඊයේ දිනය නිමාවන විට ලකුණු 82 කින් ඉදිරියට පැමිණියහ. එතැන් සිට ඉදිරියට ගිය කමිඳු මෙන්ඩිස් සහ චන්දිමාල් දෙදෙනා අද දහවල් 12.25 ට පමණ වර්ෂාව ඇද වැටෙන විට තරගයේ වාසිය නැවතත් ශ්‍රී ලංකා පිල වෙත ඇදගනිමින් සිටියහ. වර්ෂාවෙන් අනතුරුව තරගය ආරම්භ වීමෙන් පසුව සිය ශතකය සම්පූර්ණ කළ කමිඳු මෙන්ඩිස් ඕල්ඞ් ට්‍රැෆර්ඞ් පිටියේදී ශතකයක් ලබාගත් දෙවැනි ශ්‍රී ලාංකිකයා බවට පත්විය. 

තම සිව්වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටින කමිඳු මෙන්ඩිස් එම තරග හතරේදී සිව් වතාවක්ම ලකුණු 50 කඩඉම පසුකර ගොස් තිබේ. ඒවායින් 3 ක් ශතක බවට පරිවර්තනය කර තිබේ. මුහුණ දුන් 167 වැනි පන්දුවේදී ශතකය සම්පූර්ණ කළ මෙන්ඩිස්ගේ අපරාජිත ඉනිම හතරේ පහර 12 කින් සහ හයේ පහරකින් අලංකෘත විය. පන්දු 94 කින් 4 ක් පමණක් හතරේ සීමාවට යැවූවද, දිනේෂ් චන්දිමාල්ගේ නැංගුරමක් වන් ඉනිම කමිඳු මෙන්ඩිස්ට කදිම ආධාරකයක් විය. 

කමිඳු මෙන්ඩිස්ගේ දැවී යාමෙන් පසුව පැමිණි ප්‍රභාත් ජයසූරිය සහ විශ්ව ප්‍රනාන්දු දෙදෙනාම එක ලකුණක් ඇතුළත දැවී ගියෙන් චන්දිමාල්ට තරමක චණ්ඩිපහේ පිතිහරඹයක යෙදෙන්නට සිදුවිය. පන්දු 119 කට පසුව චන්දිමාල් දැවී යන විට ඔහුගේ ඉනිම හතරේ පහර 7 කින් සමන්විත විය. 


අදහස් (0)

රූට් - ස්මිත් එංගලන්තය දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.