Last Update  :  2024-10-18 11:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ හෙට තරග බිමට
කාන්තා වි:20 ලෝක කුසලාන

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ හෙට තරග බිමට

editorial - 2024 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පාකිස්තාන කාන්තා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හෙට (3 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30 ට සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසෙනු ඇත. 

විස්සයි-20 ජාත්‍යන්තර තරග බිමේදී කරට කර තරග වැදී ඇති කණ්ඩායම් දෙකක් ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්තානය හැඳින්විය හැකි අතර මේ දක්වා පැවැති තරග 20 කදී ජයග්‍රහණය 10 ක් අත්කර ගැනීමට පාකිස්තානයද, ජයග්‍රහණ 9 ක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාවද සමත්ව තිබීම ඊට නිදසුන් සපයයි. දෙරට අතර පැවැති එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ. 

කෙසේ වුවත් 2022, 2023 සහ 2024 යන වසරවලදී අවසන් වරට දෙරට අතර පැවැති විස්සයි-20 ජාත්‍යන්තර තරග 3 න්ම ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත්ව සිටියි. ඊට මෙම වසරේ ජූලි මස දඹුල්ලේදී පැවැති කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයේ ජයග්‍රහණයද ඇතුළත් වේ.

තරගාවලිය ආරම්භ වීමට පෙර පැවැති පෙරහුරු තරගවලදී ශ්‍රී ලංකාව මෙන්ම පාකිස්තානයද ස්කොට්ලන්තයට සහ බංග්ලාදේශයට එරෙහිව තරග 2 බැගින් ක්‍රීඩා කළ අතර එම තරග දෙකෙන්ම ජය ලැබීමට ශ්‍රී ලංකාව සමත් වෙද්දී, පාකිස්තානය එම තරග 2 ම පරාජයට පත් විය. 

ඒ අනුව ශ්‍රී ලංකාව ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුව හෙට තරගයට සහභාගි වන අතර පාකිස්තානය ඊට එක්වන්නේ යම් පසුබෑමක් සහිතවය. හෙට තරගයට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුවේ කිසිඳු වෙනසක් සිදුනොවනු ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. 

සුපුරුදු පරිදි නායිකා චමරි අතපත්තු සමගින් විෂ්මි ගුණරත්න ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට නියමිත අතර හර්ෂිතා සමරවික්‍රම අංක 3 ස්ථානයේ පන්දුවට පහර දෙනු ඇත. කවීෂා දිල්හාරි, හසිනි පෙරේරා, නිලක්ෂි ද සිල්වා සහ කඩුලු රකින ක්‍රීඩිකා අනුෂ්කා සංජීවනී මැද පෙළ පිතිකාරිණියන් ලෙස කටයුතු කරනු ඇත.

කෙසේ වුවත් උදේෂිකා ප්‍රබෝධනී සමගින් තරගයට සහභාගිවන සෙසු වේග පන්දු යවන්නිය අචිනි කුලසූරියද නැතහොත් අමා කාංචනාද යන්න පිළිබඳව මෙන්ම, ඉනෝෂි ප්‍රියදර්ෂනී සමග තරගයට එක්වන සෙසු විශේෂඥ දඟ පන්දු යවන්නිය කවුදැයි යන්න පිළිබඳව තවමත් නිශ්චිත වශයෙන් ප්‍රකාශ  නොහැකිය. 

එම ස්ථානය සඳහා වමතින් දඟ පන්දු යවන ක්‍රීඩිකාවන් වන ඉනෝකා රණවීර, සුගන්දිකා කුමාරි සහ සචිනි නිසංසලා මෙන්ම චයිනමන් පන්දු යවන ලාබාල ක්‍රීඩිකා ශෂිනි ගිම්හානිද සටනක නිරතව සිටිති. කෙසේ වුවත් අත්දැකීම් දෙස බලන කළ එම ස්ථානය ඉනෝකා රණවීරට හෝ සුගන්දිකා කුමාරිට හිමිවීමට වැඩි ඉඩක් තිබේ. 


ශ්‍රී ලංකා කාන්තා සංචිතය 
චමරි අතපත්තු (නායිකා), විෂ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, හසිනි පෙරේරා, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනී, උදේෂිකා ප්‍රබෝධනී, අචිනි කුලසූරිය, අමා කාංචනා, ඉනෝෂි ප්‍රියදර්ෂනී, ඉනෝකා රණවීර, සුගන්දිකා කුමාරි, සචිනි නිසංසලා සහ ශෂිනි ගිම්හානි 

පාකිස්තාන කාන්තා සංචිතය 
ෆාතිමා සානා (නායිකා), මුනිබා අලී, ගුල් ෆෙරෝස්, ඉරාම් ජාවෙද්, ඔමයිමා සොහේල්, සදාෆ් ශමාස්, සිද්‍රා අමීන්, ආලියා රියාස්, නිඩා දාර්, සයිදා අරූබ් ෂා, ඩයනා බෙග්, නෂ්රා සන්ධු, සදියා ඉක්බාල්, තස්මිමා රූබබ් සහ තූබා හසන් 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ හෙට තරග බිමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.