Last Update  :  2025-01-13 18:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

editorial - 2024 දෙසැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

රටවල් 8 ක සහභාගීත්වයෙන් ඉන්දියාවේදී පැවැත්වෙන 2025 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට ඍජුවම සුදුසුකම් ලබාගන්නා රටවල් 6 අතරට එක්වීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකාවට පෙර සත්කාරක ඉන්දියාව, ඕස්ටේ්‍රලියාව, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව යන රටවල් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා සිටියේය. 

කාන්තා ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් 2022 වසරේ සිට 2025 වසර දක්වා පැවැත්වෙන එක්දින ලෝක ශූරතාවලියේ ලකුණු සටහනට අනුව තවත් එක් රටකට ඍජුවම ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමට හැකියාව තිබේ. නවසීලන්තය, බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් මේ වන විට එම ස්ථානයට තරග කරමින් සිටියි. 

කාන්තා ලෝක ශූරතාවලිය තුළ දේශීය තරගාවලි 3 ක් සහ විදෙස් තරගාවලි 4 ක් යටතේ තරග 24 කට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉන් තරග 9 ක් ජයගෙන, 11 ක් පරාජයට පත්වූහ. එහිදී ඔවුන් සහභාගි වූ සෙසු තරග 4 ජය පැරදුමකින් තොරව අවසන් විය. ඒ අනුව ශ්‍රී ලංකාව ලකුණු 22 ක් ලබා ලෝක කුසලාන තරගාවලියට පිවිසියේ ලකුණු සටහනේ 5 වැනි ස්ථානය හිමිකර ගනිමිනි. 

කෙසේ වුවත් ලෝක ශූරතාවලියේ තරග සැකැස්මට අනුව දැනට ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට පසුපසින් සිටින බංග්ලාදේශයට (ලකුණු 19) තවත් තරග 3 ක්ද, බටහිර ඉන්දීය කොදෙව් පිලට (ලකුණු 14) තරග 4 ක්ද ඉතිරිව තිබේ. එබැවින් බංග්ලාදේශයට උපරිමය ලකුණු 25 ක් දක්වාද, බටහිර ඉන්දීය කොදෙව් පිලට උපරිමය ලකුණු 22 ක් දක්වාද යමින් ශ්‍රී ලංකාව 6 වැනි ස්ථානය කරා ඇද දැමීමට අවස්ථාව තිබේ. 

එහෙත් බංග්ලාදේශයට ඉතිරිව ඇති තරග 3 සහ බටහිර ඉන්දීය කොදෙව් පිලට ඉතිරිව ඇති තරග 4 න් 3 ක් ඔවුන් එකිනෙකාට එරෙහිව පැවැත්වෙන බැවින් කණ්ඩායම් දෙකටම එකවර ඉහත කී ලකුණු සංඛ්‍යාවන් කරා ලඟා වීමට නොහැකි වනු ඇත. එම තරගාවලිය එළඹෙන ජනවාරි මාසයේ සහ බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැත්වීමට නියමිතය. කොදෙව් පිලේ සෙසු තරගය මෙම මස 27 වැනිදා ඉන්දියාවට එරෙහිව පැවැත්වේ. 

නවසීලන්ත කාන්තා කණ්ඩායම මේ වන විට ලකුණු 21 ක් ලබා ලෝක ශූරතාවලියේ ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ රැදී සිටියි. එහෙත් ඉහත කී ඉතිරි තරගවල ප්‍රතිඵලයන්ට අනුව බංග්ලාදේශය හෝ බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 21 කට වැඩියෙන් ලබාගත හොත් නවසීලන්තයට ලෝක කුසලාන තරගාවලිය සඳහා ඍජුවම සුදුසුකම් ලබාගැනීමට ඇති අවස්ථාව අහිමිවනු ඇත. 

ලෝක ශූරතාවලියේ ලකුණු සටහනට අනුව අවසන් ස්ථාන 4 ට පත්වන කණ්ඩායම් 4 ත්, කාන්තා ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව 11 වැනි සහ 12 වැනි ස්ථානවල පසුවන ස්කොට්ලන්තය සහ තායිලන්තයත් තවත් සුදුසුකම් ලැබීමේ තරගාවලියකට සහභාගි වනු ඇත. එම තරගාවලිය ජයගන්නා කණ්ඩායම සහ එහි අනු ශූරතාව හිමිතරගන්නා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබන අවසන් කණ්ඩායම් දෙක බවට පත්වනු ඇත. 

1997 වසරේදී පළමු වරට කාත්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකාව 2000, 2005 සහ 2009 යන තරගාවලිවලදීද ඍජුවම ඊට සුදුසුකම් ලැබීය. එහෙත් 2013 වසරේ ලෝක කුසලාන තරගාවලියට එක්වීම සඳහා ශ්‍රී ලංකාවට සුදුසුකම් ලැබීමේ තරගාවලියකට ක්‍රීඩා කිරීමට සිදු වූ අතර 2017 වසරේදී යළිත් ඔවුහු ඍජුවම ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගත්හ. 

කෙසේ වුවත් ඉතා අවාසනාවන්ත ලෙස 2022 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි විය. එහිදී ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමේ තරගාවලියකටද සහභාගි වූ නමුත් කොවිඩ්-19 වසංගතය හේතුවෙන් එම තරගාවලිය අතරමැද අතහැර දැමීම හේතුවෙන් ශ්‍රේණිගත කිරීම් පදනම් කරගනිමින් ඒ වන විට ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටි බංග්ලාදේශය, පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල ලෝක කුසලාන තරගාවලියට පිවිසියේය. 


අදහස් (0)

ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.