Last Update  :  2024-09-19 19:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකාව සැනසුම් සුසුම් හෙළයි
වි-20 ලෝක කුසලාන 2024

ශ්‍රී ලංකාව සැනසුම් සුසුම් හෙළයි

editorial - 2024 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

(ශානුක අරවින්ද ශාන්ත ලුසියාහි ග්‍රොස් අයිලට් නුවර සිට..)

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර ඊයේ (16 වැනිදා) ශාන්ත ලුසියා දූපතේ ග්‍රොස් අයිලට් නුවර ඩැරන් සැමී ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 83 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. මෙවර තරගාවලියේ මූලික වටය යටතේ සහභාගි වූ තරග 4 දී ශ්‍රී ලංකාව ලැබූ එකම ජයග්‍රහණය මෙය විය.

ලකුණු පරතරය අතින් ගත් කළ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියකදී ශ්‍රී ලංකාව ලැබූ දෙවැනි ඉහළම ජයග්‍රහණයද මෙය වූ අතර එය දෙවැනි වූ‍යේ 2007 වසරේ දකුණු අප්‍රිකාවේ ජොහැන්නර්ස්බර්ග් නුවරදී කෙන්යාවට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ ලකුණු 172 ක ජයග්‍රහණයට පමණි. කෙසේ වුවත් එදා මෙදා තුර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව සහභාගි වූ අසාර්ථකම තරගාවලිය මෙය විය.

‍ජයග්‍රහණය සඳහා ලකුණු 202 ක ඉලක්කයක් හඹාගිය නෙදර්ලන්ත කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 16.4 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූ‍යේ ලකුණු 118 ක් පමණි. එහිදී නුවන් තුෂාර ලකුණු 24 කට කඩුලු 3 ක් දවාගත් අතර මතීෂ පතිරණ සහ වනිඳු හසරංග කඩුලු 2 බැගින්ද, දසුන් ශානක සහ මහීෂ් තීක්ෂණ කඩුල්ල බැගින්ද බිඳහෙළමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයට දායකත්වය දැක්වූහ.

නෙදර්ලන්තයට සාර්ථක ආරම්භයක් ලබාදුන් මයිකල් ලෙවිට් (31) සහ මැක්ස් ඕ’ඩොව්ඩ් (11) පළමු කඩුල්ල වෙනුවන් පන්දු 28 කදී ලකුණු 45 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූහ. එහෙත් නුවන් තුෂාරගේ පන්දුවක් හමුවේ ඩීප් ස්‍කුවෙයාර් ලෙග් කලාපයේ පන්දු රකිමින් සිටි කමිඳු මෙන්ඩිස් අතට උඩ පන්දුවක් දෙමින් ඕ’ඩොව්ඩ් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.

ඉන් අනතුරුව නෙදර්ලන්ත පිතිකරුවන්ට පිටියේ ස්ථාවර වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩක් නොදුන් අතර නායක ස්කොට් එඩ්වඩ්ස් පන්දු 24 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 31 ක් ලබා සිටියදී තුෂාරගේ දෙවැනි ගොදුර බවට පත්වෙමින් පිටියෙන් ඉවත්ව ගියේය. 16 වැනි ඕවරයේ සිව්වැනි පන්දුවේදී පෝල් වැන් මීකිරන් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගැනීමට තුෂාර සමත් වීමත් සමග නෙදර්ලන්ත ඉනිම නිමාවට පත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 201 ක් ලබාගැනීමට සමත් වුවද, ඔවුන්ගේ ආරම්භ එතරම් යහපත් නොවූයේ ඉනිමේ දෙවැනි පන්දුවේදීම ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු නොලබා දැවී යෑම හේතුවෙනි. කෙසේ වුවත් කළකට පසුව ලකුණු අතරට පැමිණි කුසල් මෙන්ඩිස් පන්දු 29 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 46 ක් රැස්කරමින් අධිවේගී ඕවර 6 අවසන් වන විට ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව 45 ක් දක්වා ඔසවා තැබීය.

මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ පෙරහුරු තරග දෙකද ඇතුළුව තරග 5 කදී කුසල් ලකුණු 20 සීමාව පසුකර ගිය පළමු අවස්ථාව මෙය වූ අතර එම තරග 5 දී ඔහුගේ ලකුණු ලබාගැනීම 4, 13, 19, 10 සහ 46 ක් ලෙස සටහන් විය. එහිදී ලකුණු 92 ක් ලබාගැනීම සඳහා ඔහු පන්දු 78 කට මුහුණදී තිබූ අතර ඔහුගේ සාමාන්‍යය 18.4 ක අගයක් ගත්තේය.

 තරමක් මන්දගාමී ඉනිමක් ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් පන්දු 20 කදී ලකුණු 17 ක් ලබා සිටියදී වැන් මීකරන්ගේ පන්දුවක් හමුවේ පොයින්ට් කළාපයේ පන්දු රකිමින් සිටි ලෝගන් වැන් බීක් අත‍ට උඩ පන්දුවක් දෙමින් පිටියෙන් ඉවත්ව ගියේය. ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු ලබාගැනීමේ වේගය ඉහළ දැමූ ධනංජය ද සිල්වා හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග පන්දු 26 කින් ලකුණු 34 ක් රැස්කළ අතර කුසල් සමග තෙවැනි කඩුල්ලට පන්දු 35 කින් ලකුණු 45 ක්ද එක් කළේය.

පස්වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිස ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ චරිත් අසලංක පන්දු 21 කදී ලකුණු 46 ක් ලබාගත් අතර ඉන් පන්දු 5 ක්ම හතරේ සීමාවට ඉහළින් ගුවන්ගත කිරීමටද ඔහු සමත් විය. ලෝගන් වැන් බීක්ගේ පන්දු හමුවේ පිට පිටම හයේ පහර දෙකක් එල්ල කිරීමෙන් අනතුරුව අර්ධ ශතකය සම්පූර්ණ කිරීමේ අදහසින් එල්ල කළ පහරින් ඇදී ගිය පන්දුව එක්ස්ට්‍රා කවර් කලාපයේ පන්දු රකිමින් සිටි බස් ඩි’ලීඩ්ගේ දෑත් අතර සිරවීමත් සමග අසලංකගේ ඉනිම නිමාවට පත්විය.

දසුන් ශානක මුහුණදුන් පළමු පන්දුවේදීම ලකුණු නොලබා දැවී ගියද, ඉන් අනතුරුව පිටියේ එක්වූ ඇන්‍ජලෝ මැතිව්ස් (නොදැවී 30) සහ නායක වනිඳු හසරංග (නොදැවී 20) හත්වැනි කඩුල්ලට පන්දු 14 කදී  ලකුණු 35 ක් එක්කරමින් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 200 සීමාවෙන් ඔබ්බට ගෙන ගියහ. එහිදී පන්දු 15 කට මුහුණදුන් මැතිව්ස් හයේ පහර 2 කින් සහ හතරේ පහරකින්ද, පන්දු 6 කට මුහුණදුන් වනිඳු හයේ පහර 2 කින් සහ හතරේ පහරකින්ද සිය ඉනිම් අලංකාර කළහ.

 

ශ්‍රී ලංකාව  
පැතුම් නිස්සංක - ඇ.සයිබ්‍රෑන්ඩ් ප.කිංග්මා            0
කුසල් මෙන්ඩිස් - ඇ.සයිබ්‍රෑන්ඩ් ප.දත්                46
කමිඳු මෙන්ඩිස් - ඇ.වැන් බීක් ප.මීකිරන්           17
ධනංජය ද සිල්වා - ඇ.ලීඩ් ප.ප්‍රින්ගල්                 34
චරිත් අසලංක - ඇ.ලීඩ් ප.වැන් බීක්                   46
ඇන්ජලෝ මැතිව්ස් - නොදැවී                           30
දසුන් ශානක - ඇ.එඩ්වඩ්ස් ප.වැන් බීක්                0
වනිඳු හසරංග - නොදැවී                                    20
අතිරේක                                                             8
එකතුව ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී                201
 
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ :
මහීෂ් තීක්ෂණ, නුවන් තුෂාර සහ මතීෂ පතිරණ

කඩුලු වැටීම :
1-00(නිස්සංක), 2-39(කමිඳු), 3-84(කුසල්), 4-123(ධනංජය), 5-166(අසලංක), 6-166(දසුන්)

පන්දු යැවීම :
විවියන් කිංග්මා 3-0-23-1, ආර්යන් දත් 3-0-23-1, ලෝගන් වැන් බීක් 4-0-45-2, පෝල් වැන් මීකිරන් 3-0-37-1, ටිම් ප්‍රින්ගල් 4-0-41-1, බස් ඩි’ලීඩ් 3-0-32-0

 

නෙදර්ලන්තය
මයිකල් ලෙවිට් - ස්ට.කුසල් ප.තීක්ෂණ             31
මැක්ස් ඕ’ඩොව්ඩ් - ඇ.කමිඳු ප.තුෂාර                 11
වික්‍රම්ජීත් සිං - ඇ.කමිඳු ප.ශානක                        7
සයිබ්‍රෑන්ඩ් එන්ගල්‍බ්‍රෙච්ට් - ඇ.චරිත් ප.පතිරණ   11
ස්කොට් එඩ්වඩ්ස් - ඇ.තීක්ෂණ ප.තුෂාර             31
බස් ඩි’ලීඩ් - ඇ.චරිත් ප.හසරංග                           3
ලෝගන් වැන් බීක් - දුවද්දී දැවී ගියා (කුසල්)        0
ටිම් ප්‍රින්ගල් - ස්ට.කුසල් ප.හසරංග                      2
ආර්යන් දත් - ප.පතිරණ                                    10
පෝල් වැන් මීකිරන් - ක.මු. කළා ප.තුෂාර           3
විවියන් කිංග්මා - නොදැවී                                   1
අතිරේක                                                             8
එකතුව ඕවර 16.4 කදී සියලු දෙනා දැවී           118

කඩුලු වැටීම :
1-45(ඕ’ඩොව්ඩ්), 2-47(ලෙවිට්), 3-62(වික්‍රම්ජීත්), 4-68(සයිබ්‍රෑන්ඩ්), 5-71(ලීඩ්), 6-71(වැන් බීක්), 7-82(ප්‍රින්ගල්), 8-99(දත්), 9-117(එඩ්වඩ්ස්), 10-118(මීකි‍රන්)

පන්දු යැවීම :
ඇන්ජලෝ මැතිව්ස් 2-0-20-0, නුවන් තුෂාර 3.4-0-24-3, මහීෂ් තීක්ෂණ 3-0-25-1, වනිඳු හසරංග 4-0-25-2, දසුන් ශානක 1-0-10-1, මතීෂ පතිරණ 3-0-12-2 


අදහස් (2)

ශ්‍රී ලංකාව සැනසුම් සුසුම් හෙළයි
  • CHAMINDA Monday, 17 June 2024 05:48 PM

    මෙන්ඩිස් වගේ අනික් කට්ටිය ගැනත් ඕනේ. දසුන්, වනිඳු, පැතුම්, සධීර, චරිත්... මෙයාලගේ අන්තිම මැච් 10 වි20 ඉනිම් දාන්න.

    Reply 0       0

    kotiya Tuesday, 18 June 2024 05:28 AM

    ඔය මදෑ.... ගහන හැම මැච් එකක්ම දිනන්න ඕනෑයෑ. මළවිකාර. ඔය ජයග්‍රහණේ රොල් කරලා ගහගන්න .....

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.