Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය - ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිට)
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සුපුරුදු ශ්‍රී ලාංකීය එක්දින තරග රටවාට අවතීර්ණ වූ චරිත් අසලංක ඇතුළු පිරිවර, ඕස්ට්‍රේලියාවට එරෙහිව අද (14 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී ලකුණු 174 දැවැන්ත ජයක් අත්පත් කරගත්හ. මෙම ජයග්‍රහණය, දෙපිල අතර පවතින වසර 50 ක එක්දින ඉතිහාසය පුරා, ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් ශ්‍රී ලංකාව හමුවේ මුහුණ දුන් දරුණුතම පරාජය ලෙසින් ද වාර්තා පොතට එක්වෙයි.
කුසල් මෙන්ඩිස් (101) සහ චරිත් අසලංක (නොදැවී 78) කළ විශිෂ්ට පිතිහරඹය හමුවේ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් මෙල්ල කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 කින් ලකුණු 281 ක් ලබාගත්තේය. එහෙත් ශ්‍රී ලාංකික දඟ පන්දු යවන්නන් හමුවේ ඕස්ට්‍රේලියානුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 107 කි.
මෙය ඕස්ටේ්‍රලියානු එක්දින කණ්ඩායමක් ශ්‍රී ලංකාව හමුවේ දැවී ගිය දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාවයි. ශ්‍රී ලංකාව හමුවේ ඕස්ට්‍රේලියානුවන්ගේ අඩුම එක්දින ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා වන්නේ 2013 බි්‍රස්බේන් නුවරදී පැවැති තරගයකදී ලකුණු 74 කට දැවී යාමයි.
වත්මන් ලෝක ශූරයන් වන ඕස්ට්‍රේලියානුවන් හමුවේ අත්කරගත් 2-0 ක තරගාවලි ජය හේතුවෙන් එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගත ලයිස්තුවේ 5 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. තව දින 5 කින් පාකිස්තානයේදී ආරම්භ වන ශූරයන්ගේ කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවට අහිමි වූයේ 2023 ලෝක කුසලාන තරගාවලියෙන් පසු එක්දින ලෝක ශ්‍රේණිගත කිරීම් අතරේ 9 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව ඇද වැටුණු බැවිනි.
ශ්‍රී ලංකාව ලබාගත් තේජාන්විත ලකුණු 281 ට පිළිතුරු සැපයීමේදී ට්‍රැවිස් හෙඩ් ප්‍රහාරාත්මක ආරම්භයක් ලබාගත්තේය. එහෙත් ඕවර 3.3 ක් ඇතුළත පිතකරුවන් තිදෙනකු දැවී යාම නිසා ඕස්ට්‍රේලියානුවෝ ලකුණු 33 කට කඩුලු 3 ක් අහිමිකර ගත්හ. නායක ස්ටීවන් ස්මිත් (29) සහ ජොෂ් ඉංග්ලිෂ් (22) දෙදෙනා එක්ව ලකුණු 44 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් දුනිත් වෙල්ලාලගේ විසින් ජොෂ් ඉංග්ලිෂ් දවාගැනීමත් සමගින් ලකුණු 28 ක් ඇතුළත කඩුලු 7 ක් ඇද වැටිණ.
දුනිත් වෙල්ලාලගේ (35/4) සහ වනිඳු හසරංග (23/3) එම කඩුලු හතම බෙදාගත්තේ ඕස්ට්‍රේලියානුවන්ට සිදුවන්නේ කුමක්ද යන්න සිතාගැනීමටවත් කාලයක් ඉතිරි නොකරමිනි.
දැවී යාමට තත්ත්පර කිහිපයකට පෙර වෙල්ලාලගේගේ පන්දුවක් මිඩ් විකට් කලාපයෙන් හතරේ සීමාවට යැවූ ජොෂ් ඉංග්ලිෂ්, අනතුරුව පසු පාදයට බර දෙමින්, ඊළඟ පන්දුව එක්ස්ට්‍රා කවර්ස් කලාපයෙන් තල්ලු කර හැරීමට උත්සාහ කළේය. එහෙත් ඔහු සිතුවාට වඩා වේගයෙන් පැමිණි පන්දුව පිත්ත පරයමින් ගොස් කඩුල්ලේ වැදුණේ ඕස්ට්‍රේලියානු ඉනිමේ කඩා වැටීම ආරම්භ කරමිනි.
ශ්‍රී ලංකා ඉනිමේ 45 වැනි ඕවරය නිමා වන විටත් පුවරුවේ සටහන් වූයේ ලකුණු 223 කි. එහෙත් අවසන් ඕවර 5 දී ලකුණු 58 ක් උදුරා ගත් චරිත් අසලංක සහ ජනිත් ලියනගේ ලකුණු 280 මායිමෙන් කණ්ඩායම එතෙර කළහ. පිට පිටම දෙවැනි තරගයේදීත් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ගල ග්‍රහයෙන් ගෙන බිම හෙළුෑ ශ්‍රී ලංකා නායකයා, සිය ලකුණු 78 වෙනුවෙන් මුහුණ දුන්නේ පන්දු 66 කට පමණි. චරිත්ගේ චිත්තාකර්ශනීය ඉනිම හයේ පහර තුනකින් සහ හතරේ පහර 6 කින් අලංකාර වූවා පමණක් නොව, ‘තරගාවලියේ වීරයා’ ට හිමි සම්මානය දිනාගැනීමටත් එය ඉවහල් විය.
කුසල් මෙන්ඩිස් සමගින් එක්ව සිව්වැනි කඩුල්ලට ලකුණු 94 ක් එක්කළ නායකයා, පසුව ජනිත් ලියනගේ සමගින් එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 66 ක් එකතු කිරීමට ද පියවර ගත්තේය. අවසන් ඕවර 10 දී ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට දිගට හරහට පහර දුන් අසලංක සහ ජනිත් ලියනගේ, ලකුණු 66 ක සම්බන්ධතාව වෙනුවෙන් මුහුණ දුන්නේ පන්දු 35 කට පමණි.
ඕස්ට්‍රේලියානුවන් ක්‍රීඩා කළේත් උපරිම උත්සාහයෙන් තොරව යයි කීම අතිශෝක්තියත් නොවේ. තවත් සතියක් යාමටත් මත්තෙන් ආරම්භ වන ශූරයන්ගේ කුසලාන තරගාවලිය ඉදිරියේ ඇති බැවින් ඕස්ට්‍රේලියානුවෝ පන්දුව වෙත පැනීමෙන් වැළකී සිටියහ. ඒ හේතුවෙන් උඩපන්දුවක් ලබාගැනීමේ අවස්ථාවක් ගිළිහී ගිය අතරම පන්දුව කිහිප වතාවක්ම හතරේ සීමාව පසුකර ගියේය.
අසීරු ආරම්භයේදී වගකීමෙන් යුතුව පිතිහරඹයේ යෙදුණු නිශාන් මධුෂ්ක (51) සහ කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 98 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ප්‍රහාරාත්මක ඕවර කිහිපයේදී හැමදාමත් මුහුණ දෙන අවදානමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ගලවා ගත්හ. නිශාන් මධුෂ්ක ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ නමුත් දිගු ඉනිමක් ක්‍රීඩා කිරීමට තිබුණු අවස්ථාව අපතේ හැරියේය.
ශ්‍රී ලංකා ඉනිමට ජවය එකතු වූයේ කුසල් මෙන්ඩිස්ගේ පිතිහරඹයෙනි. පන්දු 50 කින් සිය අර්ධ ශතකය ලබාගත් කුසල් මෙන්ඩිස්, ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට තරගයේ පාලනය නොදීමට වගබලා ගනිමින් දිගින් දිගටම පන්දුව හතරේ සීමාව පසුකර යැවීය. ඔහු අද ලබාගත්තේ සිය පස්වැනි එක්දින ශතකයයි. ඕස්ට්‍රේලියානුවන් හමුවේ මේ දක්වා එක්දින ලකුණු 645 ක් ලබාගෙන සිටින කුසල් මෙන්ඩිස්ගේ ඉනිමක සාමාන්‍යය 40.31 කි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.