Last Update  :  2025-01-02 21:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකාවට ලකුණු 45 ක පහසු ජයක්
දඹුල්ලේ එක්දින තරගය

ශ්‍රී ලංකාවට ලකුණු 45 ක පහසු ජයක්

editorial - 2024 නොවැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ සිට...)

නවසීලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනා පවනට බඳු වේගයෙන් ඉලක්කය කරා ඇදී යද්දී චරිත් අසලංක (15/2), මහීෂ් තීක්‍ෂණ (32/2) සහ ජෙෆ්රි වැන්ඩසේ එක්ව ලකුණු 22 ක් තුළදී කඩුලු 5 ක් බිම දැමූහ. එතැනින් තරගය ග්‍රහණය කරගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති පළමු වැනි එක්දින තරගයේදී ලකුණු 45 ක පහසු ජයක් අත්කර ගත්හ. 

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 49.2 කදී කඩුලු 5 කට ලකුණු 324 ක් ලබාගත්තේය. වර්ෂාව හේතුවෙන් තරගයේ පැය තුනක පමණ කාලයක් අපතේ ගියේය. එබැවින් ඩක්වර්ත් - ලුවිස් න්‍යාය අනුව, නවසීලන්තයේ ඉලක්කය ඕවර 27 කදී ලකුණු 221 ක් ලෙසින් සංශෝධනය කෙරිණ. ඕවර 27 ක් නිමාවේදී ඔවුනට ලබාගත හැකිවූයේ කඩුලු 9 ක් දැවී ලකුණු 175 කි. 

මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත තරගාවලියේදී 1-0 ක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණ ගෙන සිටී. 

ඉලක්කය සංශෝධනය කිරීමෙන් පසුව එය සටනක් දෙමින් දිනාගත හැකි තරගයක් බව දෙපිලටම පෙනෙන්නට තිබිණ. නවසීන්ත ආරම්භක පිතිකරුවෝ ඕවර 13 කින් ලකුණු 87 ක් පුවරුවට එකතු කර තිබියදී තරගයේ වාසිය ඔවුන් සතුව තිබිණ. එහෙත් පන්දු 9 ක් ඇතුළත පිතිකරුවන් තිදෙනකුම ආපසු ක්‍රීඩාගාරයට යාමත්, ලකුණු සංඛ්‍යාව 110 වන විට නවසීලන්තයේ  පස්වැනි කඩුල්ලත් බිඳ වැටීම නිසාත් තරගයේ වාසිය විනාඩි 20 ක් ඇතුළත ශ්‍රී ලංකා පිල වෙත නැඹුරු විය. 

එතැන් සිටත් නවසීලන්ත පිතිකරුවන් සටන ගෙන ගිය නමුත් එය දිය මතුපිට ඉරි ඇඳීමක් විය.

නවසීලන්ත නායක මිචෙල් සෑන්ට්නර්ට පන්දු යවන්නන්ගේ හිඟයක් පැවැති බව පැහැදිළිවම පෙනෙන්නට තිබිණ. ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 200 කඩයිම පෙනෙන තෙක් මානයට (කඩුලු 1 ට 193 යි) එනතෙක්ම නවසීලන්ත නායකයාට ග්ලෙන් පිලිප්ස් ගැන මතක්වූයේම නැත. 

මෙම තත්ත්වයෙන් උපරිම ප්‍රයෝජන ගත් අවිශ්ක ප්‍රනාන්දු (100) සහ කුසල් මෙන්ඩිස් (143) දෙදෙනා ලකුණු 300 කඩඉම පසුකිරීම දක්වා යා යුතු මාර්ගය ශ්‍රී ලංකා පිලට හෙළි පෙහෙළි කර දුන්හ. 

රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පිතිකරුවකු ලබාගත් ඉහළම තනි ලකුණු සංඛ්‍යාවේ (143) වාර්තාවත් හිමිකර ගනිමින් තම හොඳම එක්දින ඉනිම ක්‍රීඩා කළ හිටපු නායකයා, නායත්වයේ කිරුළ බිම තැබීමෙන් පසුව පිතිකරුවකු වශයෙන් තමන්ට කෙතරම් දුරක් යා හැකිද යන්න වටහා ගනිමින් සිටී. පන්දු 128 කට මුහුණ දෙමින්, මයිකල් බ්‍රේස්වෙල්ගේ පිට පිටම යැවූ පන්දු දෙකක් හමුවේ ගැසූ  චිත්තාකර්ශනීය හයේ පහර දෙකකින් සහ හතරේ පහර 17 කින් කුසල් මෙන්ඩිස් සිය ඉනිම අලංකාර කළේය. 

ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 12 කට දැවී ගියත් ඔහු දැවී ගියේ නේතන් ස්මිත් විසින් රැකගන්නා ලද අති විශිෂ්ට උඩපන්දුවකිනි. ස්මිත් එතැන නොසිටියා නම් පැතුම්ගේ පහර හයේ පහරක් වන්නට තිබිණ. 

පැතුම් දැවී යාමෙන් පසුව පිටියට පිවිසි කුසල් පන්දුවට පහර දුන්නේ අවිශ්කටත් විශ්වාසය එන්නත් කරමිනි. අවිශ්කට පෙරම සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ කුසල්, ආරම්භක පිතිකරවා ලකුණු 100 කඩයිම පසුකිරීමට පෙරම, පන්දු 102 කින් තම සිව්වැනි එක්දින ශතකය සම්පූර්ණ කළේය. හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් ඇතුළත් වූ අවිශ්කගේ ශතකයකට පන්දු 114 ක් වැය වී තිබිණ. 

නවසීලන්ත - ශ්‍රී ලංකා එක්දින ඉතිහාසයේ 2  වැනි කඩුල්ල වෙනුවෙන් හොඳම සම්බන්ධතාව ගොඩනැංවූ මෙන්ඩිස් සහ අවිශ්ක දෙදෙනා එය 170 සිට 206 ක් දක්වා ඉහළ දැමූහ. නවසීලන්තයට එරෙහි එක්දින තරගයකදී 2 වැනි කඩුල්ල වෙනුවෙන් කලින් පැවැති හොඳම සම්බන්ධතාව වූ ලකුණු 170 ට දායක වූ සනත් ජයසූරිය (හෂාන් තිලකරත්න සමගින් 2003 ලෝක කුසලාන තරගාවලියේදී) ක්‍රීඩාගාරයේ සිටිමින් ඒ දෙස බලා සිටියේය. 

නායක චරිත් අසලංක පන්දු 28 ක් ඇතුළත ප්‍රහාරයට ලකුණු 40 ක වටිනාකමක් තිබිණ. දැවැන්ත හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින් සිය ඉනිම අලංකාර කළ ශ්‍රී ලංකා නායකයා දවාගත් ජේකබ් ඩෆී ඕවර 8 කින් කඩුලු 3 ක් දවාගත් නමුත් ඔහුගෙන් කණ්ඩායමට සිදුවූ බරපතළම වැරැද්ද වූයේ කුසල් මෙන්ඩිස් ලකුණු 11 ක් ලබා සිටියදී දුන් උඩපන්දුව අතහැරීමයි. 

මෙන්ඩිස් එතැන් සිට ආපසු හැරුණේ නැත. තරගයේ තාලය වෙනස් කළේ මෙන්ඩිස්ගේ පිතිහරඹයයි. ඒ වෙනුවෙන් ඔහුට තරගයේ වීරයා සම්මානය හිමිවිය. 

 

 

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)


අදහස් (0)

ශ්‍රී ලංකාවට ලකුණු 45 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.