Last Update  :  2025-01-02 21:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකාවට ලකුණු 73 ක ජයක්
දෙවැනි වි-20 තරගය

ශ්‍රී ලංකාවට ලකුණු 73 ක ජයක්

editorial - 2024 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ සිට)

කෝඩුකාරයා වූ දුනිත් වෙල්ලාලගේ (09/3) කළ අගනා පන්දු යැවීමත් සෙසු දඟ පන්දු යවන්නන්ගේ කදිම සහයෝගයත් හේතුවෙන් රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 73 ක අති විශිෂ්ට ජයක් ලබාගත්තේය. විස්සයි-20 තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායම මාස 4 කට පසුව ලබාගත් මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙසින් සමවී තිබේ. 

ලකුණු 163 ක ඉලක්කයක් කරා ගිය කොදෙව්වෝ ඕවර 16.1 කදී ශ්‍රී ලාංකික දඟ පන්දු යවන්නන් හමුවේ යටත් වූහ. කොදෙව් කණ්ඩායමක්, විස්සයි-20 තරගයකදී, ශ්‍රී ලංකාව හමුවේ දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව මෙයයි. මීට පෙර කොදෙව් කණ්ඩායමක් ශ්‍රී ලංකා පිල හමුවේ දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වූයේ 2009 ලෝක කුසලාන තරගාවලියේදී ලන්ඩන් ඕවල් පිටියේදී ලකුණු 101 කට දැවී යාමයි. 

පළමු තරගයේදී මෙන්ම නොව අද තරගයේදී කොදෙව්වන්ට ලැබුණේ නොසිතූ විරූ ආරම්භයකි. පළමු තරගයේදී ආරම්භක පිතිකරුවන් දෙදෙනා ඕවර 10 කදී ලකුණු 114 ක් පුවරුවට එකතු කළ නමුත් අද ඕවර 10 ක් නිමාවන විටත් කොදෙව් ලකුණු පුවරුවේ තිබුණේ ලකුණු 40 ක් පමණි. ඒ වන විටත් කඩුලු 7 ක් බිඳ වැටී තිබූ අතර දුනිත් වෙල්ලාලගේ, චරිත් අසලංක සහ මහීෂ් තීක්‍ෂණ එම කඩුලු 7 න් හයකට හිමිකම් කීහ. 

දඟ පන්දු යවන්නන් හමුවේ කොදෙව්වන් අන්ද මන්ද වී සිටි බැවින් 10 වැනි ඕවරය නිමාවන විටත් තරගයේ විසඳුම කුමක් ද යන්න පැහැදිළි ව තිබිණ. 

තරගය ආරම්භ වීමට ඔන්න මෙන්න කියා තිබියදීත් පුහුණුදැල තුළට වන් පැතුම් නිස්සංක පන්දුවට පහර දෙමින් සිටියේය. එයින් කදිම ප්‍රයෝජනයක් ගත් ආරම්භක පිතිකරුවා, පන්දු 49 කින් ලබාගත් ලකුණු 54, ඔහුට තරගයේ වීරයා සම්මානය ගෙනැවිත් දුන්නේය. පළමු තරගය පැවැති තණතීරුවේදීම අද තරගයක් පැවැති නමුත් තණතීරුවේ තත්ත්වය එදාට වඩා හාත්පසින්ම වෙනස් විය. පළමු තරගයෙන් අනතුරුව තණතීරුවට දුන් සාත්තුව හේතුවෙන් අද තරගයේ තණතීරුව වේග පන්දු යවන්නන්ට අපායක් වී තිබිණ. 

ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු ලබාගත්තේ කොදෙව් පිලේ සිටි වේග පන්දු යවන්නන් සිව් දෙනාගෙනි. වේග පන්දු යවන්නන් සිව් දෙනාගෙන් ලකුණු 115 ක් උදුරාගත් ශ්‍රී ලංකා පිතිකරුවෝ දඟ පන්දු යවන්නන් දෙදෙනා වූ ගුඩාකේෂ් මෝති (13) සහ රොස්ටන් චේස් (24) දෙදෙනාගෙන් ලබාගත්තේ ලකුණු 37 ක් පමණි. වඩාත්ම තීරණාත්මක වූයේ දඟ පන්දු යවන්නන් දෙදෙනා එක්ව යැවූ නිලකුණු පන්දු සංඛ්‍යාව 30 ක් වීමයි. 

පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් දෙදෙනාටම ආරම්භය අසීරු විය. ඕවර 3 ක් නිමාවේදීත් පුවරුවේ තිබුණේ ලකුණු 08 ක් පමණක් වුයෙන් පිතිකරුවෝ දෙදෙනාම මහත් වික්ෂිප්තව සිටියහ. හතරේ පහරක් නැතහොත් කඩුල්ල යන දෙකෙන් එකක් තෝරාගත් පැතුම් නිස්සංක ඊළඟ ඕවරයේ පළමු පන්දුවටම ඉදිරියට පැන ගැසූ පහරින් පන්දුව හතරේ සීමාව පසුකර ගියේය. ෂෙමාර් ජෝෂප් යැවූ එම ඕවරයේ ඉතිරි පන්දු පහටම නිස්සංකගෙන් හතරේ පහර 5 කි. 

අද තරගයේදී දුනිත් වෙල්ලාලගේ විස්සයි-20 තරග සඳහා ශ්‍රී ලංකා හිස්වැස්ම දිනාගත්තේය. වමතින් දඟ පන්දු යවන දුනිත් වෙල්ලාලගේ ටෙස්ට් තරගයකට මෙන්ම එක්දින තරග 24 කට ක්‍රීඩා කර ඇතත් මේ ඔහුගේ මංගල විස්සයි-20 තරගයයි.

 

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)


අදහස් (0)

ශ්‍රී ලංකාවට ලකුණු 73 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.