Last Update  :  2025-04-21 10:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඇමති මහින්දානන්ද දැඩි ස්ථාවරයක

ඇමති මහින්දානන්ද දැඩි ස්ථාවරයක

editorial - 2021 මාර් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(නොර්වුඩ් රංජිත් රාජපක්ෂ)

නාවලපිටිය නගර සභාව යටතේ පාලනය වන නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ සැහැල්ලු‍ පන්දු තරග සඳහා මැටි තීරුවක් නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජීව මහතා විසින් ඉදි කිරීමට විරෝධය පාමින් ක්‍රීඩාංගණය ඉදිරිපිට ක්‍රීඩකයෝ සහ ක්‍රීඩා සමාජ සමාජිකයෝ විරෝධතාවයක් පවත්වනු ලැබූහ.

2012 වසරේ රුපියල් බිලියන 350 ක වියදමින් එවකට ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කල මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා විසින් ඉදි කරන ලද ක්‍රීඩාංගණයේ පාපන්දු , රග්බි සහ මලල ක්‍රීඩා සඳහා පමණක් ක්‍රීඩා කිරීමට පහසුකම් ඇති අතර, එම ක්‍රීඩාංගණය සැහැල්ලු‍ පන්දු ක්‍රිකට් සඳහා තණ තීරුවක් සකස් කිරීමෙන් ක්‍රීඩාංගණයේ සෙසු ක්‍රීඩා වලට බාධාවක් වන බව විරෝධතාවයේ නියැලි පිරිස කියති.

විරෝධතාකරුවන් අතරට පැමිණි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා කියා සිටියේ ජයතිලක ක්‍රිඩාංගණය තුළ සැහැල්ලු‍ පන්දු ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා තණ තිරුවක් සකස් නොකරන ලෙසට සභාපතිවරයාට තමන් දුරකථනය ඔස්සේ දැනුම් දුන් බවයි.

මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති බවත්, තවදුරටත් සභාපතිවරයා තමන්ගේ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදෙස් වලට පටහැනිව කටයුතු කරමින් ජයතිලක ක්‍රීඩාංගණය තුළ සැහැල්ලු‍ පන්දු ක්‍රීඩා සඳහා තණ තීරුවක් සකස් කලහොත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ජයතිලක ක්‍රීඩාංගණය ක්‍රීඩා අමාත්‍යාංශයට පවරා ගැනීමට කටයුතු කරන බවත් කෘෂිකර්ම ඇමැතිවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජීව මහතාගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණය තුළ රග්බි ක්‍රීඩාව සඳහා පහසුකම් තිබුණද ගත වූ වසර තුනක කාලයේදී කිසිදු රග්බි තරගාවලියක් නොපැවැත්වුණ බවත්, පාපන්දු තරගාවලි කිහිපයක් සහ මලල ක්‍රීඩා කිහිපයක් පැවැත්වුණ බවයි.

නාවලපිටිය ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩකයන් බොහෝ පිරිසකගේ ඉල්ලීමක් මත නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන්ගේද අනුමැතියට යටත්ව තමන් ක්‍රිඩාංගණය තුල ක්‍රිකට් තණ තිරුවක් සකස් කිරීමේ කටයුතු ආරම්භ කර එය තාවකාලිකව නතර කර ඇති බවයි.

ක්‍රිකට් තණ තිරුවක් සකස් කිරීම සම්බන්ධයෙන් මතු වී ඇති විරෝධතාවය සම්බන්ධයෙන් තමා නගර සභාවේ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බවද නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජීව මහතා පැවසීය.

 


අදහස් (0)

ඇමති මහින්දානන්ද දැඩි ස්ථාවරයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.