Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කබඩි ක්‍රීඩිකාව නිදොස් කොට නිදහස් කරයි

කබඩි ක්‍රීඩිකාව නිදොස් කොට නිදහස් කරයි

නාමල් පතිරගේ - 2021 මාර් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මුත්‍රා නියැදි දෙකේම පරීක්ෂාවෙන් තහනම් උත්තේජක ශරීරගතවී ඇතැයි තහවුරු වූ කබඩි ක්‍රීඩිකාවක් විමර්ශනවල පැවැති බව කියන දෝෂ හේතුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට විශේෂ අභියාචනා කමිටුව ඊයේ (11) තීරණය කර තිබේ.

වසර හතරක තහනමක් ගෙවමින් සිටියදී ඊයේ තහනම් උත්තේජක චෝදනාවෙන් නිදොස් කොට නිදහස් වූයේ වසර 2018 පොළොන්නරුවේදී පැවැති 44 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ කබඩි (කාන්තා) තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට සම්මාන දිනාගත් සජිත මනෝරි ජයසිංහයි. ඇය නියෝජනය කළ සබරගමුව පළාත් කබඩි කණ්ඩායම එවර ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනා ගැනීමටද සමත් වූවාය.

ක්‍රීඩා උළෙලේදී තහනම් උත්තේජක නිවාරණ නියෝජිත ආයතනය  අහඹු ලෙස ලබාගත් මුත්‍රා නියැදි  පරීක්ෂාවට අනුව ඇය තහනම් උත්තේජක ශරීරගත කරගෙන ඇතැයි චෝදනා ලැබුවාය. එහිදී ඇගේ දෙවැනි මුත්‍රා නියැදියද පරීක්ෂාවට ලක් කිරීමෙන් පසුව චෝදනාව තහවුරුවීමෙන් ඇයට වසර 2018 ඔක්තෝබර්  12 වැනිදා සිට ඉදිරි සිව් වසරක් සඳහා වන තරග තහනමක් පැනවීමට තහනම් උත්තේජක නිවාරණ ආයතනය කටයුතු කළේය. එය අවසන්වීමට නියමිතව  තිබුණේ ලබන වසරේ (2022) ඔක්තෝබර් 12 වැනිදාය.

කෙසේ වුවත් තහනම් උත්තේජක චෝදනාව තවදුරටත් ප්‍රතික්ෂේප කළ මෙම ක්‍රීඩිකාව විමර්ශනවලදී  කියා ඇත්තේ තමන් පානය කළ විශේෂ තේ වර්ගයකින් තහනම්  උත්තේජක ශරීරගත වී ඇතැයි තමන් සැකකරන බවයි. එය නොදැනුවත්කමින් වූ සිදුවීමක් බවත් කෙසේ වුවත් තහනම් උත්තේජන නිවාරණ නියෝජිත ආයතනය මෙම ක්‍රියාදාමයේදී සිදුකළ  විමර්ශනවල ආරම්භයේ පටන් පැවති බව කියන දෝෂ සහගත  තත්ත්වයන්හි වාසිය චෝදනාලාභී ක්‍රීඩිකාවට ලබා දෙමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ ත්‍රිපුද්ගල අභියාචනා කමිටුව විසින් ඇය නිදහස් කිරීමට ඊයේ කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා ආධුනික කබඩි සම්මේලනයේ සභාපති අනුර පතිරණ මහතා ඇතුළු විධායක සභාව ක්‍රීඩිකාව වෙනුවෙන් පෙනී සිටිමින් අභියාචනාවේදී ඇයට සහයෝගය ලබාදී තිබේ.
ඇය වෙනුවෙන් ජනාධිපති නීතිඥ නවින් මාරපන, නීතිඥ උදිත වික්‍රමසිංහ හා රස්මි ඉන්ද්‍රාණි යන මහත්ම මහත්මීන් ස්වෙච්ඡාවෙන් පෙනී සිට තිබේ.
තහනම් උත්තේජන නිවාරණ ආයතනය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ නීති උපදේශක නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද මහතා මෙම අභියාචනා විභාගයේදී පෙනී සිටියේය.

විශේෂ අභියාචනා කමිටුවේ කටයුතු කළ සෙසු සාමාජිකයන් වන්නේ විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු උපාලි සමරසිංහ  හා වෛද්‍ය අසේල මෙන්ඩිස් යන මහත්වරුය.

 


අදහස් (0)

කබඩි ක්‍රීඩිකාව නිදොස් කොට නිදහස් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.